(ඩයනා උදයංගනී)

පළාත් කිහිපයකට හෙට (2) රාත්‍රී කාලයේ සිට ලබන 4 වැනිදා දක්වා කාලයේදී තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් මෙම වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (1) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.

ගාල්ල, මාතර, රත්නපුර, කළුතර සහ නුවරඑළිය දිස්‍ත්‍රික්කවල ස්ථාන කිහිපයක් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.