(නිමන්ති රණසිංහ)

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිධුරවලටත්, සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනෙකු පොලිස් අධිකාරීවරුන් ලෙසත් උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබාදී ලබා දී තිබේ.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (24) සිට මෙම උසස්වීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව, මුදල් විශුද්ධිකරණ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පියසෙන් අම්පාවිල මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්කර බස්නාහිර පළාත් අපරාධ දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස පත් කර ඇත.

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක සෙනෙවිරත්න මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්කර රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද පත්කර තිබේ.

පොලිස් මූලස්ථාන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත ද සිල්වා මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්කර පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද පත්කර ඇත.

ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්කර ඇති නිලධාරීන් වන්නේ තානාපති ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින එස්.පී.කේ. උඩුගම්පොල, හලාවත පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින අයි.ඒ.ආර්. විජේවර්ධන, බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශශයේ සේවයේ නිරතව සිටින ඩී.බී.එච්. කළණසිරි , පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින ඩී.කේ.එම්.පී. පෙරේරා, පුත්තලම කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින ඩී.ඩී.පී. වීරසිංහ, බණ්ඩාරවෙළ කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින බී.එම්.එම්. දසනායක, සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරතව සිටින එරික් රංජිත් යන නිලධාරීන්ය.

පොලිස් අධිකාරීධුරයට උසස්කල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එරික් රංජිත් මහතාගේ උසස්වීම ක්‍රියාත්මක වන්නේ පවතින විමර්ශනයක් අවසන් වීමෙන් අනතුරුව බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.