
(ඩයනා උදයංගනී සහ තිළිණි ද)
පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදී කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික වැටුප සෑම මසකම 5 වැනිදාට ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට එම සමාගම එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
තමන් මැදිහත් වී පකිස්තානයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හරහා එම සමාගම සමඟ සාකච්ඡා කර මෙම එකඟතාව ඇතිකරගත් බව ද ඇමතිවරයා කීවේය.
ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත මුදල් පරිත්‍යාගයක් ලබාදීම සහ පාසල් උපකරණ පිරිනැමීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් එම අමාත්‍යාංශයේදී අද (15) සිදුකෙරිණි.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.
ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ කොටස් මෙරටට ගෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වැය වන මුදල සහ දේහයේ කටයුතු වෙනුවෙන් ජයරත්න මල් ශාලාවේ ගාස්තුව ඔවුන් වෙත ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබූ බවත්, එම දෙපාර්ශවයම නොමිලයේ එම කටයුතු කරදීම නිසා වෙන් කළ මුදල මෙසේ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ලබාදෙන බවත් අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.
මීට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් එම පවුල වෙත ලබාදෙන රුපියල් ලක්ෂ 25ක මුදල දැනට විදේශගතව සිටින විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා මෙරටට පැමිණි පසු ලබාදීම සිදුවන බව ද ඇමතිවරයා පැවසීය.


COMMENTS
පියෙක් මිය ගියත් තම පවුල රකිනවා.
හොඳ වැඩක්... ඒත් මේකට දේශපාලකයින් මැදිහත් වීම තමයි හොඳ නැත්තේ...
සුනාමී ආධාර ගිල්ල තන්හාකාරයෝ ඉන්න මේ රටේ මේ මුදල් පවුලටම කෙලින්ම දෙන එක අගය කල යුතු දෙයක්.
වන්දිය දෙන්න ඇමති තුමා එනකම් ඉන්නේ ෆොටෝ ගහලා පත්තරේ දාන්නද?ඔය ආයතනයේ වෙනත් නිලධාරීන් නැතිද ?ඔයා ඇමති උන නිසා තමයි මේ රටම විනාශ වෙලා ගියේ
විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා මෙරටට පැමිණි පසු ලබාදීම සිදුවන බව කියනවා.. ඇයි ඒ? ඇමතිගේ පෞද්ගලික මුදල්ද දෙන්නේ?
මෙහම පච කියන්න එපා නිකම් ලකුණු දාගන්න, තමන් මැදිහත් වෙලා මේ උපකාර කලා කියල. පකිස්තානු අගමැතිතුමාත්, ප්‍රියන්ත මහතා වැඩ කල ආයතනයත් එතුමාගේ මාසික වැටුප දිගටම දෙන්න පොරුන්දු වුණා. දැන් සතියකට කලින්. ඒ වගේම සියල්කොට් වෙළඳ සංගමුත් මේ පවුලට වන්දි ලබා දෙන්නත් පොරොන්දු වුනා. මෙයාට මෙහම මැදිහත් වෙන්න හැකියාව සහ හයිය තියනවා නම්, මැද පෙරදිග රටවල සහ දකුණු කොරියාවෙත් අපේ ශ්‍රමිකයන් මේ වගේ ඝාතන වෙලා තියන අවස්ථා බොහෝ තියනවා. ඔන්න මේවාට මෙහම වන්දි හෝ මාසික වැටුප් අරන් දෙන්න කෝ? විදේශ ඇමති හැටියට ඉන්දියාවෙන් 13 ක්‍රියාත්මක කරන්න කියල අපිට එල්ල කරන බලපෑම්, ජිනීවා මානවහිමිකම් සභාවෙන් එල්ල වන බලපෑම්, ඩයස්පෝරාවෙන් එල්ල වන බලපෑම්, ඔන්න ඕවා පාලනය කරන්න කෝ පුළුවන් නම්. චීන කුණු පොහොරට ගෙවන අනවශ්‍ය ගෙවීම නතර කරන්න කෝ? මෙයාලගෙන් ගෙන් රටට කිසිම ප්‍රයෝජනයක් නැහැ.
මැරුණු කෙනෙකුට පන දෙන්න බහ.පකිස්තානු රජය සහ එහි වෙළඳ ප්‍රජාව මේ සිදුවීම ගැන දක්වපු උනන්දුව සහ ප්‍රියන්ත මහතාගේ පවුලට මේ ලබාදෙන උපකාර ඉතාම අගය කොට සලකනවා.අපේ උදවිය මෙයට පෙර වෙනත් රටවලදීත් මැරුණා.නමුත් හරි වන්දි මුදලක්වත් ලැබුනේ නැහැ.ඒ වගේම විදේශ සේවා එක වත් හරියට මැදිහත් වීමක් උනේ නැහැ