(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.
 
පලාගිය සැකකරුවන් දෙදෙනා ගම්පහ සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
 
මොවුන්ගෙන් එක් අයෙකු අත් මාංචු සහිතව පලාගොස් ඇත.
 
වාහන අමතර කොටස් සොරා ගැනීම සම්බන්ධයෙන් පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (29) මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ සැකකරුවෙකු රැගෙන යාම සඳහා බන්ධනාගාර නිලධාරීන් පැමිණ නොතිබූ බැවින් ඔහුව සිර මැදිරියේ රඳවා සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාව සඳහා යොදාවා තිබූ බව පොලිසිය කියයි.
 
අද (30) උදෑසන 11.00 පමණ වන තෙක්ම බන්ධනාගාර නිලධාරීන් පැමිණ නොතිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
 
එම සැකකරු පලාගොස් ඇත්තේ අතකට දමා තිබූ එක් මාංචුවක් ඉවත් කර එහි අනෙක් කොටස ඇදෙහි තිබියදීය.
 
වාද්දුව පොලිසිය මගින් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු ඊයේ (29) රාත්‍රී පපුවේ අමාරුවක් බව පවසා රෝහල් ගතවී ඇති අතර පොලිස් ආරක්ෂාව මැද සිටි ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුව කොළඹ යවා සී.ටී පරීක්ෂාවක් කරන ලෙස නිර්දේශ කර තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙම සැකකරු පලා ගොස් තිබුණේ අත් මාංචු සහිතව බවත් ඔහු පානදුර නගරයට ගොස් බෝතලයක් කඩා යතුරු පැදි කරුවෙකුට තර්ජනය කර යතුරු පැදිය සහ පැදිකරු සතුව තිබූ මුදල්ද කොල්ල කා පලා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
 
පැහැරගෙන ගොස් තිබූ යතුරු පැදිය රත්මලාන ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.