පාකිස්ථානයේ පන්ජාබ් ප්රාන්තයේ රහීම් යාර් ඛාන් දිස්ත්රික්කයේ අද(31) මගී ප්රවාහන දුම්රියක හටගත් ගින්නකින් පුද්ගලයන් 74දෙනෙකු මියගොස් 44දෙනෙකු තුවාල ලබා ඇත.
ගින්නෙන් දුම්රිය මැදිරි 3ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පැවසේ. එම මැදිරි අනෙකුත් දුම්රිය මැදිරිවලින් වෙන්කිරීමට කටයුතු කර තිබේ.
දුම්රිය මගියකු උදෑසන ආහාරය සැකසීම සඳහා යොදාගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් ගිනිගැනීම සිදුව ඇතැයි අනාවරණය වී ඇත.
දුම්රිය මැදිරිවලින් නගින ගිනි ජාලා සහ දුම්රියේ සිටිමින් විලාප නගන මිනිසුන් සහිත දර්ශන එරට රූපවාහිනීවල විකාශය විය. මිය ගිය පිරිසගෙන් බොහොදෙනෙකු ගිනි ගන්නා දුම්රියෙන් පිටතට පැනීම හේතුවෙන් මියගොස් ඇති බවද පැවසේ.
තුවාල ලැබූවන් බහවල්පූර් නගරයේ සහ රහීම් යාර් ඛාන් දිස්ත්රික්කයේ රෝහල් කරා ගෙන ගොස් ඇති අතර, මළ සිරුරු අතරින් හඳුනාගත හැකි මට්ටමේ පවතින්නේ මළ සිරුරු 18ක් පමණක් බවද පැවසේ.
මෙම දුම්රිය කරච්චි නුවර සහ රාවල්පින්දි අතර දෛනිකව ධාවනය වන ශීඝ්රගාමී දුම්රියක් බවද, පාකිස්ථානයේ පැරණිතම සහ ජනප්රියතම දුම්රිය සේවාවක් බවද බලධාරීහු පවසති.
දුම්රිය මාර්ගවල පවතින දුබලතා, සංවර්ධන කටයුතු සිදුනොවීම් හේතුවෙන් පාකිස්ථානයේ දුම්රිය අනතුරු බහුලව සිදුවන බවද පැවසේ.
පසුගිය ජූලි මාසයේදී ලාහෝරයේ සිට පැමිණි මගී ප්රවාහන දුම්රියක් එම දිස්ත්රික්කයේදීම භාණ්ඩ ප්රවාහන දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබිණි.
(ඒඑෆ්පී සහ එන්ඩීටීවී ඇසුරිනි)
16844




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.