(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබා ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘‘ඇවන්ට් ගාඩ්‘‘සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන නොවැම්බර් මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) නියම කළේය.
නඩුවට ඉදිරිපත්වීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ලංකාවට පැමිණි නිශ්ශංක සේනාධිපති මහතාට ඇප නියම කරන්නැයි ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීම් ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට ඇප නියම කළහොත් එය යුක්තිය ඉෂ්ඨවීම කෙරෙහි අන්‍යාකාරයකින් බලපෑම් විය හැකි බව පෙන්වා දුන්නේය.
විත්තිකරු විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සැළකිල්ලට ගැනීමේදී විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි තරම් බරපල රෝගී තත්වයක් එම වෛද්‍ය වාර්තා වල සඳහන්ව නැති බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල විත්තිකරුට විදේශගතවීම වළකාලමින් ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ගුවන් ගමන් තහනමක් නිකුත් කර තිබුණත් ඒ පිළිබඳව මෙම අධිකරණයට දැනුම් දීමට හෝ විත්තිකරු පියවර ගෙන නැති බව විත්තිකරුට ඇප ප‍්‍රතික්ෂේප කරමින් සඳහන් කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා පත්කළ මහධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගණේපොල (සභාපති) , ආදිත්‍ය පටපැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
මෙම නඩුවට අදාලව චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 13 දෙනාගෙන් මීට පෙර දිනයේ අධිකරණයේ පෙනී සිටි විත්තිකාර රක්නා ලංකා සමාගම හා විත්තිකරුවන් 08 දෙනකු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් බවට වූ කොන්දේසියක් මත එක් අයෙකු රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල නියම කෙරිණි.
එම විත්තිකරුවන් 08 දෙනාට මෙන්ම එදින අධිකරණයේ පෙනී නොසිටි විත්තිකරුවන් සිව්දෙනාගේ නීතීඥවරුන්ටද ත‍්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙලෙස විවෘත අධිකරණයේදී අධිචෝදනා පත‍්‍ර බාර දෙනු ලැබිණි.
චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා විසින් පවරන ලද නඩුවේ අධි චෝදනා පත‍්‍ර හා ඊට අදාළ ඇමුනුම්ද මෙලෙස බාරදුන් අතර එලෙස බාරදුන් ගොනු අතර මෙම නඩුවේ සාක්කිකරුවන්ගේ ප‍්‍රකාශ හා සැකකරුවන්ගේ ප‍්‍රකාශ මෙන්ම නඩු භාන්ඩ වල තොරතුරු ඇතුළත් වෙලුම් තුනකින් සමන්විතය.
මෙම නඩුවේ විත්තිකරුවකු වන ‘එම්.වී.ඇවන්ට් ගාඩ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග්‍රැව්රිලෝන් නමැත්තාට එරෙහි අධිචෝදනා පත‍්‍රයේ යුක්රේන් භාෂාවේ පිටපතක් නඩුවේ අධිචෝදනා කියවා දීමට පෙර විත්තිකරුට බාරදීමට පැමිණිලි පාර්ශ්වයට නියම කළේය.
නීතීපති දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරන ලදී.
චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක මෙවැනි අධිචෝදනා ප‍්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ ප‍්‍රථම වතාවටය.
මෙම සිද්ධිය හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති වූ ආන්දොළනාත්මක තත්ත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කර ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)


COMMENTS
මෙයා හිතාගෙන ඉන්නේ එයාගේ සල්ලිවලට සියලුම මාධ්‍ය මිලට ගන්න පුළුවන් කියලා. ලංකාදීප පුවත්පත එහෙම නැතිව ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීම ගැන අපගේ ප්‍රණාමය...!!!
නීති කඩ කරන්නන්ගේ වාසනාව ළඟ එනවා. දැනට මිනීමැරුම් චෝදනා ඇති අයව නිදහස් කරන බවට පොරොන්දු දෙන ජනාධිපති අපේක්ෂකයෙක්ද සිටියි. ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ අධිකරණයේ ක්‍රියාකාරීත්වය ගැන තේරුම් ගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබෙනු ඇත. අධිකරණ තීන්දු දෙන්නා ජනාධිපතිවරයාද?
සාටක කියනවනේ නොවැම්බර් 17 උදේට අධිකරණ නියමයෙන් රඳවා තබා ඉන්න සියලුම මිනී මැරුම් චුදිතයන් නිදහස් කරනවා කියා ... මේවා ඝෝටාට මෙහෙම කියවන්න ලියා දෙන ඔහුගේම අනුගාමිකයන් ඔහුට කරන්නේ ලොකු හතුරුකමක් කියා දේසපාලනය ගැන මෙලෝ සසරක් නොදන්නා ඝෝටා දන්නේ නැහැ ..මේවා අහන චන්ද දායකයා තේරුම් අරගෙන තිබෙනවා නියමෙටම . දැන් ගෝටගේ රැස්වීම් වල සෙනග එන්න එන්නම අඩු වෙනවා ...හරි සතුටුයි .
චෝදනා 7573 ක් යටතේ ගොනු කොට ඇති මෙම නඩුවට සම්බන්ධ ප්‍රධාන විත්ති කරුවෙකු රටේ නායකයා බවට පත් කොට අනෙක් පුද්ගලයින්ව පමණක් රක්ෂිත බන්දනාගාර ගත කිරීම කොතරම් සාධාරණද? මේ සියලුම විත්තිකරුවන්ට මේ වංචාව කිරීමට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය දුන් පුද්ගලයා ගැන කවුරුවත් කතා නොකරන්නේ මේ සිරි ලංකාව රාජපක්ෂලාගේ බුදලයක් ලෙස, මන්ද බුද්ධික ජනතාව සිතා සිටීම නිසාද? මගේ නිගමනය අනුව නම්, මේ සියලුම චෝදනා ලද නිලධාරීන් අති දක්ෂයින්. මේ නිලධාරීන්ව අනිසි ලෙස පාවිච්චි කරමින් මඩිය තරකර ගත්තේ කවුද කියන එක මේ මුළු රටම දන්නවා.
එතකොට මෙයට සම්බන්ද අනෙක් අය වන දැනට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හොබවන ප්‍රධාන වැරදිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් නැතිද ?මේ අපි දන්නේ නැති නිසා අහන්නේ ?
නොවැම්බර් 16 පසුව ඔබව නිදොස් කොට නිදහස් කර විදේශීය ආදායම් උපදින ඔය සේවාව නැවත පටන්ගමු. එතකම් ඉවසන්න
මේ ආවේ ජනාධිපතිවරණයට පස්සේ නීත්‍යානුකූලව නිදහස්ව, නැවත වැඩ පටන් ගන්න. මේවා ප්ලෑනකට වෙන දේවල්. ඒතකොට අපි හාවෝ.
දෙසැම්බර් 18 න් පසුව වෙන්නේ මොහුව බේරගන්න නොවෙයි .... ජනවාරි 8 වෙනිදා පරාජය වෙලා මැදමුලන ජනේලයේ එල්ලිලා බලාගෙන හිටිය වගේ අයියටයි මල්ලිටයි ඒ ජනේලයේම එල්ලිලා ඉන්න තමයි .
ආරක්ෂක හේතු මත රටක පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යන්න බැරිද?