(ඉන්දිකා රාමනායක)

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට  කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අද  (23) සිව් වන දිනටත්  පැය 8 කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් මත අද පස්වරු 1.00 ට පමණ ඒ මහතා එහි පෙනී සිටි අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 7.30 දක්වා පැවැත්විණි.

අනිද්දා  (25) දිනයේ ඒ මහතා පස්වැනි දිනට නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවද  එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

නාලක සිල්වා මහතා ඉකුත් 18 වැනි දින මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ  අතර අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින හතරක් පුරා පැය 40 ට ආසන්න කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණි.