විනීතා එම් ගමගේ
හෙද වර්ජනයක් අතරතුර වෛද්‍යවරයා නියම කළ ඖෂධ ලබාදීමට හෙදියන් නොමැති වීමෙන් නිසි පරිදි ප්‍රතිකාර නොලැබ තම බිරිඳ මියගියේ යැයි කාන්තාවකගේ මරණ පරික්ෂණයේ දී සැමියා සාක්ෂි දීමෙන් පසු කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා එකී කාන්තාවගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් දෙමින් අදාල වාට්ටුව භාර හෙද නිලධාරිනිය පරික්ෂණය සඳහා කැඳවන ලෙස පොලිසියට නියෝග කළේය.
ගම්පහ අකරවිට ජාඇල පාරේ කුණමා හැන්නැදිගේ ඉරෝෂා දිල්රුක්ෂි නමැති 45 හැවිරිදි පෙර පාසල් ගුරුවරියගේ මරණය පිලිබඳ පරික්ෂණයේ දී මෙසේ විවෘත තීන්දුවක් දෙනු ලැබීය.
ඇය රෝහල් ගතකර සිටිය දී හෙද වර්ජනයක් ආරම්භ වූ බවත් 26 වැනිදා සවස හෙද වර්ජනය අවසන් බව නිවේදනය වුවත් හෙද හෙදියන් වැඩ ආරම්භ කරනු ලැබුයේ පසුදින උදෑසන බවත් ඇගේ මරණය පිළිබඳව කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂන උසාවියේ ඉකුත් 28 දා පැවැති පරික්ෂණයේ දී මියගිය අයගේ සැමියා වන යාපා අප්පුහාමිලාගේ දොන් සුමිත් ප්‍රියන්ත තුෂාර යාපා (49) මහතා කියා සිටියේය.
සුමිත් ප්‍රියන්ත මහතා සාක්ෂි දෙමින් මෙසේ ද කියා සිටියේය.
“ ගියවසරේ අගෝස්තු මාසයේ දී බිරිඳගේ ඇස් පෙනෙන්නෙ නැතිව ගියා. ඒ ගැන වෛද්‍යවරු බොහෝ දෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. අසනීපයක් නැති බව කිහිපදෙනෙක් කිව්වා.
අවසානයේ ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතාට පෙන්නුවා. සැත්කමක් කළ යුතු බව එතුමා කිව්වා. ඒ අනුව ආසිරි සෙන්ට්‍රල් රෝහලේ දී සැත්කමක් කළා. 20 දා ගෙදර ගියා. 21 ඇවිත් රිපෝට් පෙන්වන්න කී නිසා ඇවිත් වෛද්‍යවරයා වෙත වාර්තා පෙන්නුවා. එවිට එතුමා කීවේ එදිනම රෝහල් ගත කරන්න කියලයි. නමුත් ලක්ෂ 20 ක් විතර යන බව කී නිසාත් එතරම් මුදලක් මා සතුව නැති නිසාත් එහි නතර කරන්න බැරි බව මා කීවා.
එවිට වෛද්‍ය සෝමසුන්දරම් මහතාට කථා කොට එතුමා ගෙන් ලිපියක් ලබා දී ජාතික රෝහලේ වාට්ටුවකට ඇතුල් කරන්න කටයුතු කලා. ඒ 21 වැනිදායි.
ඇය දිගටම රෝහලේ සිටියා. හෙද වර්ජනය නිසා බෙහෙත් හරි ආකාර ලැබුණේ නැහැ. බෙහෙත් තිබුණෙත් නැහැ. දොස්තර මහතා නියම කළ බෙහෙත සොයා ගන්න හම්බවුණේ නැහැ. දවස් දෙකක් වර්ජන තිබුණා. එය අවසන් වුණේ 26 හවස. නමුත් හෙදියන් වැඩට ආවේ 27 උදේ. එතකල් ක්‍රමානුකූලව ඇයට ප්‍රතිකාර සහ බෙහෙත් ලැබුණේ නැහැ. ඇය 28 පාන්දර මිය ගියා. ”
මේ පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි දිල්හානි අමරසිංහ මහත්මිය විසින් සිදුකළ අතර ඇය වැඩිදුර පරික්ෂණ කරන බව සඳහන්ව තිබිණි.
ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සළකා බැලූ මරණ පරික්ෂකවරයා වැඩිදුර පරික්ෂණය මේ මස 25 වැනිදාට කල් තැබු අතර අදාල වාට්ටුව භාර හෙද නිලධාරිනිය එදිනට ගෙන්වන ලෙස නියම කළේය.
COMMENTS
වර්ජනය සංවිධානය කළඅය සහ හෙදිය වසර දහයක් වත් හිරේ විලංගුවේ වැටේවා!
බල ලෝභී මෝඩ පාලකයෝ සහ මොට්ට වෘත්තීය සමිති මේවාට වග කියන්න ඕනෑ. තියෙන ලොකුම කණගාටුව හෙද සංගමේද කොහෙද? ස්වාමීන් වහන්සේ නමක් සිටීම.. බෞද්ධ දර්ශනයට පටහැනි දේවල් එළිපිට කරනකොට අන්‍යාගමිකයෝ හූ තියන එක අහන්නත් දෙයක්ද...?
අනියම් මිනීමැරුමකට සහසම්බන්ධ වූ හෙදියන්ට සිපිරිගේ ලගින්න වෙයිද?
මේ වර්ජනය මෙහෙයවපු චීවර ධාරියාගේ සිවුර ගලවලා දාන්න ඕනෑ. මිනිස් ජීවිතවල වටිනාකම් නොදන්නා අය. බුද්ධාගමත් එපා වෙන්නේ මේ නිසයි. මරණයට මුහුණ දුන් අය තමා ඒකෙ වේදනාව දන්නේ...
මොන පරීක්ෂකවරයා මොනවා කීවත් අප රටේ වෛද්‍යවරු සහ අනිකුත් වෘත්තිකයන්ගේ නොසැලකිල්ල නිසා මිය ගිය කිසිවෙක් සඳහා වන්දියක් වත් ගෙවා නෑ. අර්සකුලරත්න නැමැති නීතිඥ මහතා විතරයි එහෙම වන්දි ලබාගත්තේ. තම මියගිය දියණිය වෙනූවෙන් .
මෙවැනි සිද්ධිවලදී හෙදිය අසරණයි. ඇය එයට මෙහෙයවූ සංවිධානය වැරදි බවයි මම හිතන්නේ කවුරු වැරදි වුනත් එයට සම්බන්ධ සියලුම දෙනා ජාතිජාතිත් ඒවාට වන්දි ගෙවාවි
වෘත්තිය සමිති නායකයත් කැඳවන්න ඕන
උතුරේ අවා කල්ලිය මෙවැනි අසාධාරණ වැඩ වර්ජන, නවක වදය වැනි දේවල් වලට මැදිහත් වෙනවා. රජයට මේවා මර්ධනය කරන්න බැරිනම් පගා ගහන නිලධාරීන්ට, දුෂිත පොලිස් නිලධාරීන්ට, හොර දේශපාලකයන්ට විරුද්ධව සටන් වැදීමට අපිටත් මෙවැනි කල්ලියක් හදාගන්න කාලය පැමිණ ඇත