(සුජිත් හේවාජුලිගේ)

සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක පහක   සහල් මෝල් පහක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

සහල් මිල පාලනය කළ නොහැකි තත්වයට පත් වුයේ අනවශ්‍ය ගැසට් නිවේදන නිසා බව පැවසූ අමරවීර මහතා   සහල් මිල හෝ වී මිල පාලනයට ගැසට් පළ කිරීමේ අවශ්‍යතාවක්  නැතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේදී  ඊයේ(30)පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අවසාන තීරණය ලබාදිය  යුත්තේ රජය බවත්  පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඊට තරග වැදීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

වී මිල  හා සහල් මිල පාලනයට පළ කරන ලද ගැසට් නිවේදනවලින්  වාසිය අත් වුයේ  අතරමැදියන්ට යැයිද  මහින්ද අමරවීර මහතා පැවැසුවේය.

වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බවට දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා පක්ෂයට මේ දක්වා දැනුම්දීමක් කර නැති බවත් ඔහු ඒ සඳහා  එකඟ නම්  පක්ෂය ඊට අනුමැතිය ලබා දෙන බවත් අමරවීර මහතා කීවේය.