(චාන්දනී දිසානායක)

ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව මෙරට ආදිවාසීන් සමග එක්ව දේශීය වී වගා කිරීම ඇතුළු දේශීය අනන්‍යතා රැසක් සුරක්ෂිත කිරීමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් එකඟතාවය පළ කළේය.

කොවිඩ් වසංගතය සමග ඇතිවුණු සෞඛ්‍යමය ගැටලු සහ ආහාරමය ගැටළුවලදී දේශීය ආහාර වර්ගවල සහ ඖෂධවල වටිනාකම තහවුරු කරමින් මෙම පාර්ශවයන් ඉදිරි කටයුතු මහියංගණය දඹාන ආදිවාසීන් සමග සිදු කිරීමට මෙහිදී කතිකා කර ගත්හ.

ඒ අනුව කළු හීනැටි, කුරුලුතුඩ, ඇතුළු දේශීය වී වර්ග වගා කරන ආදිවාසීන් සඳහා ඔවුන්ගේ වියදම වෛද්‍ය සභාව හරහා යොමු කිරීමටත්, අස්වනු මිලදී ගැනීමත් මෙහි මූලික අරමුණ විය. ඊට අමතරව, දේශීය සටන් ක්‍රම ප්‍රවර්ධනය, හෙල වෙදකම ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික අංග ජාත්‍යන්තරය දක්වා රැගෙන යාම ඇතුළු කරුණු ගණනාවක් මූලික කරගෙන මෙම අකටයුතු කටයුතු ඉදිරියට සිදුවන බව පරම්පරික වෛද්‍ය සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම් දුන්හ.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ කියා සිටියේ, "වසර 73 ක කාලයක් පුරාවට මෙරට පාලනය කළ පාලකයන්ට දේශීය අනන්‍යතාවය ආරක්ෂා කිරීමට නොහැකි වීම හේතුවෙන් අපේ රටේ අනන්‍යතා රැසක් විනාශයට ලක්වී ඇති බවයි. අපේ රටේ සතා සිවුපාවා ගහකොළ විනාශ කරන තැනට රසායිනික පොහොර මෙරටට ගෙන්වා පස නිසරු කිරීමත්, බටහිර බෙහෙත් සහ ආහාරවලින් මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය විනාශ කළ බවත්, ආදිවාසී නායක ඇත්තන් මෙහිදී සඳහන් කළේය.

අද වන විට පිටරටින් හැමදේම ආනයනය කරනවා විතරක් නෙවෙයි, මේ රටේ තිබුණු සංස්කෘතිය විනාස කරන නාට්‍ය සහ ගීත රූපවාහිනියට ආවට පස්සෙ සංස්කෘතිය විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුල් පවා ගෙන්වන තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ සියල්ලටම දේශපාලකයන් වගකිව යුතුයි යැයි ආදිවාසී නායකයා පැවැසීය.