(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල යාපාගම ප්‍රදේශයේ වයස අවුරුදු එකක සහ වයස අවුරුදු තුනක දරුවන් දෙදෙනාට වස පොවා මව ද වස බීමේ සිද්ධියක් අද (15) වාර්තා වී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
 
අඹුසැමියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම මව දරු දෙදෙනා සමඟ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයට ගොස් දරුවන් දෙදෙනාට වස පොවා ඇය ද වස පානය කර ඇත. පසුව ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ වැටී සිටින බවට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් විසින් මෙම මව සහ දරුවන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
 
වස ශරීර ගතවීම  හේතුවෙන් දරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
 
පොළොන්නරුව ප්‍රදේශයේ සිට දඹුල්ල යාපාගම ප්‍රදේශයට තාවකාලිකව පදිංචියට මෙම පිරිස පැමිණි  බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඇගේ සැමියා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුලී රියදුරෙකු බවද පොලිසිය කියයි.
 
පවුල් ආරවුල් වලදී මෙවැනි දැඩි  ඉතින් දු තීරණය ගැනීම නිසා අසරණ දරුවන් දැඩි ලෙස කම්පනයට පත්වන බවත් ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවීමට කිසිදු ආකාරයෙන් දෙමාපියන්ට අයිතියක් නැති බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්පි එදිරිසිංහ මහතා පැවසීය.
 
දරුවන් දෙදෙනාව වස පොවා ඝාතනය කිරීමේ තැත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මවට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.