(තිළිණි ද සිල්වා)
දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් ලාංකිකයෙකු මිය ගොස් තවත් ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වීසා කාලය ඉක්මවා එරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ලාංකික තරුණයෙකි.තුවාල ලබා ඇත්තේ මිය ගිය තරුණයාගේ මිතුරන් දෙදෙනෙකු යැයිද තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
දකුණු කොරියාවේ යොන්සංගම් හී සචියොන් සී ප‍්‍රදේශයේ ඉකුත් අගහරුවදා (22) මෙම ගැටුම සිදුවී ඇත.
පිහි ඇණුමෙන් මරණයට පත් වූ තරුණයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා එක්ව යොන්සංගම් හී සචියොන් සී ප‍්‍රදේශයේ සිටින වෙනත් ලාංකික තරුණයින් දෙනෙකුට පහරදීමට ගොස් ඇති අතර එහිදී ඇතිවූ ගැටුමේදී සචියොන් සී ප‍්‍රදේශයේ සිටින වෙනත් ලාංකික තරුණයින් ආත්මාරක්ෂාව සඳහා පිහි භාවිතා කර ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වලින් කරුණු හෙළි වී ඇත.
එහිදී එල්ල කළ පිහි ප‍්‍රහාරයකින් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමේ සිටි එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව අනෙක් තරුණයින් දෙදෙනා තුවාල ලබා ඇත.
මොවුන් අතර දීර්ඝ කාලයක සිට පවතින ආරවුලක ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. මෙම කණ්ඩායම් දෙක ඉකුත් 19 වැනිදාද ආරවුලක් ඇති කර ගෙන ඇත.
ගැටුම සම්බන්ධ ලංකිකයින් පස් දෙනොම දකුණ කොරියාවේ රැඳී සිටීම ලබා දුන් වීසා කාලය ඉක්මවා එහි රැඳී සිටින පිරිස් වන බවද පැවසේ.
ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ.
COMMENTS
කොරියාවේ රැකියාවට යන සැම දෙනෙකුම කම්කරුවෝය. විශාල වැටුපක් ලබන නමුත් නූගත්කම සමග හැදියාවක්ද නොමැත. කෙසේ වුවත් මෙවන් මරණයක් සසරේ සිදු නොවේවා...
ඔහොම යං ඔහොමවත් කරලා රටේ නම කාලා නොදැම්මොත් නින්ද යන්නේ නැහැ,
උසස් පෙළ විභාගයද සමත් මා දන්නා අයෙකු 2002 වසරේදී කම්කරු රැකියාවට කොරියාවේ ගියේ ලංකාවේ රැකියාවක් ලබාගැනීමට නොහැකිවූ නිසාත් ලංකාවේ හරි රැකියාවක් නොතිබූ තමන්ගේ මවු පියනුත් එවකට ඉතා කුඩා වියේ සිටි සහෝදරයාත් ජීවත් කරවීමට හරි ආදායමක් ලැබීමට වෙන ක්‍රමයක් නැතිවූ නිසාත්ය. ඔහුද වසර 10ක් පමණ එහි වැඩකර දැන් පසුගිය වසර 8ක් පමණ ලංකාවේ ජීවත් වෙයි. ඔහු නම් නුගත්කමක් හෝ නොහැදියාවක් තවම පෙන්වන්නේ නැත. ඒ නිසා හැමදෙනාම එක වල්ලේ පොල් කරන්නත් බැරිය.