IMG-LOGO

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න )

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ තුන් වෙනි වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය.

එසේම එම පනත් කෙටුම්පතේ 12 වෙනි වගන්තියේ 26(2) ඡේදය පවත්නා ස්වරූපයෙන් සලකන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සමග අනුකූල නොවනු ඇතැයිද දැනුම්දී ඇති බව කතානායකවරයා කිවේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති මතය ප්‍රකාශයට පත් කරමිනි.

කතානායකවරයා  ශ්‍රේෂ්ඨාධිකරණයේ  මතය ප්‍රකාශ කරමින් මෙසේද  පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහත පරිදි වේ:—

පනත්  කෙටුම්පතෙහි  2  වගන්තිය

පනත්  කෙටුම්පතෙහි 2 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කිසිදු විධිවිධානයක් හා අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

පනත් කෙටුම්පතෙහි  3  වගන්තිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, පනත් කෙටුම්පතෙහි 3 වගන්තියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව  සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් (නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව)  තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් නොවන්නේ නම්, එවිට පනත් කෙටුම්පතෙහි 3 වගන්තිය නීතියක් ලෙස පනවනු ලැබිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

කෙසේ වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතෙහි 3 වගන්තියෙහි විධිවිධාන සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  සමඟ අනනුකූලවීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි  මතය යි.

පනත් ‍කෙටුම්පතෙහි  4  වගන්තිය

එය එසේ පැවතිය දී වුවත්, 141 ව්‍යවස්ථාව පනත් කෙටුම්පතෙහි 4 වගන්තියෙහි යෝජිත 10 වගන්තියේ ප්‍රධාන කොටස ලෙස ඇතුළත් කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදෙනු ඇති බව සහ පෙත්සම්කරුවන් විසින් මතුකරනු ලැබ ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම පිණිස අමාත්‍යවරයා විසින් පාර්ලිමේනේතුවේ කාරක සභා අවස්ථාවේදී එම සංශෝධනය යෝජනා කරනු ඇති බව උගත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණය වෙත දැනුම්දෙනු ලැබ ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

පනත් ‍කෙටුම්පතෙහි  5  වගන්තිය

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙහි සඳහන් කර ඇති හේතු දැක්වීම්වලට අනුව පනත් කෙටුම්පතෙහි 5 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයක් සමඟ  අනනුකූල ‍නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.  

පනත් ‍කෙටුම්පතෙහි  6  වගන්තිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව ප්‍රකාරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි 11 වගන්තියෙහි වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම ශ්‍රෙෂ්ඨාධිකරණයට  කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.

පනත් කෙටුම්පතේ  10  වගන්තිය 

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතේ  10 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.

පනත් කෙටුම්පතේ  11 වගන්තිය

 වගන්තිය පනත්  කෙටුම්පතේ  11 වගන්තිය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ  විධිවිධානයක්  සමඟ  අනනුකූල  වේය  යන  මතය  දැරීමට කිසිදු පදනමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

පනත් කෙටුම්පතේ  12  වගන්තිය 

12 වගන්තියේ  යෝජිත  26(2) ඡේදය එහි පවත්නා ස්වරූපයෙන් සලකනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.

123(1)(ඇ) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ  පනත් කෙටුම්පතේ 12 වගන්තියේ  යෝජිත 26(2) වගන්තිය තුළ දක්වා ඇති විධිවිධාන, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තුළ දක්වා ඇති පරිදි සංශෝධනය කරනු ලබන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වනු ඇති බවයි.

අද සභාවේ වැඩකටයුතු පිළිබඳ  නිල වාර්තාවේ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මුද්‍රණය කරන ලෙස මා විසින් මෙයින් නියෝග කරනු ලැබේ.

 



අදහස් (0)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මැතිසබයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site