(කේ බුද්ධික කුමාරසිරි)
ගොඩගම - බොරැල්ල මාර්ගයේ පනාගොඩ මංසන්ධියේදී අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියක ගැටී අද (15) සිදුවූ අනතුරකින් යතුරු පැදියේ පැමිණි කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ දැඩිගම වැලිකඩයාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අශෝකා රත්නමාලි නමැති 36 හැවිරිදි දෙදරු මවකි.
යතුරුපැදියේ පැමිණි සය හැවිරිදි කුඩා දරුවෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගිය කාන්තාව තම දරුවා යතුරුපැදියෙන් පෞද්ගලික පන්තියකට ඇරලවීම සඳහා යන අතරතුර දරුවාට දහවල් ආහාරය සඳහා යමක් මිලදී ගැනීමට පනාගොඩ මංසන්ධියේ වෙළඳසැලක් අසළ යතුරුපැදිය නවත්වා ඇත. ඇය එයින් බිමට බසිනවාත් සමඟ වේගයෙන් පැමිණි ටිපර් රථයේ ගැටී ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
අනතුර කළ ටිපර් රථය ගොඩගම සිට අතුරුගිරිය දෙසට ධාවනය කරමින් සිට ඇති බවත් පනාගොඩ මංසන්ධියේදී වෙනත් වාහනයකට වම්පසින් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය කියයි.
ටිපර් රථ රියදුරු රථය දමා පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.



COMMENTS
මේ අවිනීත රියදුරාට මොන දඩුවම දුන්නත් දැන් අර අහිංසක දරුපැටියට අම්මා කෙනෙක් කොයින්ද. ඇයි මේ මිනිස්සුන්ට තව කෙනෙකුගේ ජිවිතයක වටිනාකම නොදැනෙන්නේ...
කොරෝනා වලට වැය කරන කාලය , මුදල්, ශ්‍රමය ලංකාවෙ රිය අනතුරු අඩු කරන්න වැය කලානම් ඉන්න හිතෙන රටක් වේවි
දැන් ලංකාවේ වැඩිම මාරක මාර්ග අනතුරු සිදුකරන වාහන කාණ්ඩය තමයි ටිපර් රථ. සිංහල රජ කාලේ නම් මේ වගේ අපරාධ කරන අයට ගැළපෙන දඬුවම් තිබුනා. ඒ තමයි හිටෝපස් ගැහිල්ල. ඒ වගේ දඬුවම් අදටත් ක්‍රියාත්මක කරනවානම් ඔය වගේ නොසැළකිල්ලෙන් හා නීති විරෝදී ලෙස රිය පැදවීම් සිදුවන්නේ නැහැ.
ඔය ටිපර්, ත්‍රී රෝද රථ වල රියදුරන් ගැන කතා කරලා වැඩක් නෑ. ඒත් එක්කම සමහර කොන්ත්‍රාත් ලොරි රියදුරන් මේ වගේමයි. බස් රියදුරන් එහෙමමයි. මේ ගොල්ලෝ හිතන්නේ ඒගොල්ලොන්ගේ වාහනේ එනකොට අනිත් ඒවා ඔක්කොම ඇයින් කරන්න ඕන කියලා. මේ තත්ත්වය නවත්තන්න පොලිසිය කුමක් හෝ කල යුතුයි.
මෙවැනි රියදුරන් එල්ලුවත් මදි.
අනතුරක් වලක්වා නොගැනීම..දඩය 2500/= ..
දැන් ලංකාවේ පාරක නෙවේ පදික වේදිකාවකවත් යන එක භයානකයි !
නැවත නැවතත් ලියන්නට සිදුවේ. ට්‍රිිපර් රථ රියදුරන් මහ මග රේස් යන වග මම ඇස් දෙකෙන් දැක ඇත්තෙමි. අශිලාචාර , විනයක් රහිත මිනිසුන් නියාමනයන්ට යටත් කළ යුතුය. නැතිනම් මොවුන් තව තවත් අහිංසක මිනිසුන්ගේ සිරුරු මතින් මේ යකඩ ගොඩන් ධාවනය කරනු ඇත.
මේවගේ මදාවියන්ගේ බලපත්‍රය අහෝසිකර වාහනයත් රාජසන්ත කරන්න