( තිළිණි ද සිල්වා )

ජපන් ආධාර යටතේ මෙරට දැනට ක්‍රියාත්මක වන සියලුම සංවර්ධන ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමට ජපානය කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා කියා සිටී.

එසේම වසංගතය හේතුවෙන් අභියෝග නොතකා ඉදිරියට ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහාද තම රට කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර පැවති විශේෂ හමුවකදී ජපන් තානාපතිවරයා මේ බව කියා සිටියේය.

මෑතක දී ජපානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 14 ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ එන්නත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව මෙහිදී විදේශ අමාත්‍යවරයා ජපන් තානාපතිවරයාට පෙන්වා දුන්නේය.

සෑම අසීරු අවස්ථාවන්හි දී ශ්‍රී ලංකාවට ස්ථිරසාර සහයෝගයක් ලබා දීම පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ජපාන රජයට සහ එහි ජනතාවට ස්තූතිය පුද කළේය.

දෙරට අතර වෙළඳාම, ආයෝජනය සහ අන්තර් පුද්ගල සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වෙහෙස නොබලා කටයුතු කිරීමට ද ජපාන තානාපති අකිරා සුගියමා හා විදේශ අමාත්‍ය පීරිස් මහත්වරුන් මෙම සාකච්ඡාවේදී එකගවූ අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් ලබන වසරේ දී ඉතාමත් සුදුසු අයුරින් සැමරීම සඳහා එකඟ වූහ.

මෙම හමුව සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද සම්බන්ධ විය.