(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)
පාරම්පරික වඩු කර්මාන්තය සහ වඩු කාර්මිකයා අපහසුවට ලක්වෙන ආකාරයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකකට එකක් නොගැලපෙන ලෙස තැනින් තැන කරන ප්‍රකාශය සියල්ල ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු මොරටුව මහ නගරසභාව ඉදිරිපිට අද (8) සත්‍යග්‍රහයක නිරත විය.

අදින් ඇරඹෙන සත්‍යග්‍රහයට ජනාධිපතිවරයා ප්‍රතිචාර නොදැක්වුවහොත් අඟහරුවාදා උදෑසන දහයේ සිට මාරාන්තික උපවාසයක් අරඹන බවද පුරපතිවරයා පැවසීය.

වඩු මඩු තහනම් කරන බවත්, අවුරුදු 5ක කාලයක් ඇතුළත වෙනත් රැකියා සොයා ගන්නා ලෙසත් ගස් කපන යන්ත්‍රසූත්‍ර තහනම් කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පලකරමින් පසුගියදා විරෝධතා පා ගමනක් පැවැත්වීය.

ජනාධිපතිවරයා මුලතිව් නගරයේ ඔප්පු බෙදා දීමේ උත්සවකදී වඩු මඩු වල වැඩිපුරම ඇත්තේ හොර ලී බවත්, පවතින වඩු මඩු නොව නැවත වඩු මඩු ඇතිකිරීම නවතාලන බවත් ජනතාව අමතමින් කියා සිට ඇති බව පුරපතිවරයා  පැවසීය.
පාරම්පරිකව පියාගෙන් පුතාට උරුම වන මෙම කර්මාන්තය එසේ නැවතුණහොත් මොරටුවේ පාරම්පරික වඩු කර්මාන්තය අභාවයට යන බව සඳහන් කල පුරපතිවරයා ජනාධිපතිවරයාගේ එකකට එකක් නොගැලපෙන කතා වඩු කාර්මිකයා අපහසුතාවට පත් කරවන්නක් බව පැවසීය.

 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මිනී පෙට්ටියත් ගැනීමට නොහැකි වන හෙයින් ලී මෝල් වැසීම ගැන නැවත සිතන්නැයි කල ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වමින් මිනි පෙට්ටි හදන්නේ මිනි පෙට්ටි සාප්පු වල බවත් වඩු මඩුවල මිනී පෙට්ටි හදන්නේ නැති බවත් ප්‍රකාශ කර ඇති බව පුරපතිවරයා පැවසීය.
 
අල්මාරි හදන වඩු මඩුද, පුටු හදන වඩු මඩුද, උලුවහු ජනේල හදන වඩු මඩුද, වෙන් වෙන්ව ඇති බව පවසන පුරපතිවරයා මිනී පෙට්ටි සඳහාද වෙනම වඩු මඩු ඇති බව පැවසීය.
 
ජනාධිපතිවරයා වැරදි ලෙස විටින්  විට කරන ප්‍රකාශ පිළිබඳ නැවත සිතා බලන ලෙස පවසන පුරපතිවරයා ඔහුගේ කිසිම කතාවක් තමාට අදාල නැති බවත් මාරාත්තික උපවාසයකින් තම පාරම්පරිත වඩු කර්මාන්තය රකින බවත් පැවසීය. මෙම සත්‍යග්‍රහයට පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරු එක්ව සිටියහ.