(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලේ හයවැනි වාරිකය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ හයවැනි සමාලෝචනය අවසන් කරමින් නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙන අතර ඒ අනුව අදාළ වාරිකය ලැබෙනු ඇත.

වසර තුනක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යටතේ වාරික පහකට බෙදී යන පරිදි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2016 වසරේදී එකඟතාව පළ කළ අතර එම වැඩසටහන ලබන වසරේ ජූනි 2 වැනිදා දක්වා තවත් වසරකින් දීර්ඝ කිරීමට   ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය පසුගිය මැයි මාසයේදී අනුමැති දුන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ පස්වැනි වාරිකය ලෙස පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 164.1 හිමිවිය. එම ණය මුදල ලැබීමත් සමඟ මේ වනවිට වාරික පහක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති සම්පූර්ණ ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.155කි.

2018 වසරේ සිදු වූ දේශපාලන අස්ථාවරභාවය සහ පාස්කු ප්‍රහාරවල ප්‍රතිඵල හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කර ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දෙමින් සඳහන් කර ඇත.