(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීතිවල යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ලබන 19 වැනිදා හෝ ඊට පෙර ලබාදෙන්නැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 17වැනිදා රැස් විය.

මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා මහජන අදහස් ලබා ගැනීම සඳහා තීරණය කර ඇත්තේ එම රැස්වීමේදී ය.

මහජන අදහස් හා යෝජනා ලිඛිතව හෝ sec.pscelectionreforms2021@ parliament .lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ලබා දෙන ලෙස එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුශානි රෝහණදීර මහත්මිය ඉල්ලීමක් කරන්නීය .

ලිඛිත යෝජනා හා අදහස් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට එවිය යුතු බව එම කාරක සභාව පවසයි.

යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශවයන් ඒ සඳහා යථා කාලයේ දී එම සභාව හමුවට කැඳවන බව රෝහණදීර මහත්මිය පැවසුවාය.