( තිළිණි ද සිල්වා )

මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවය වෙත නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය මේවන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටී.

ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම විසින් පසුගියදා අමෙරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණි.

එම එන්තරවාසිය පසුගිය 9 වනදා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබුණු අතර ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන්  නීතිපතිවරයාගේ උපදෙස් ඉදිරියේ දී ලැබීමට නියමිතව තිබේ.

අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වීමත් සමග චීන සමාගමක් විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා පියවර ගත්තේය.

කෙසේවෙතත් කාබනික පොහොර සහිත “හිපෝ ස්ප්‍රිට්” නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති බව වාර්තා වේ.