(සුජිත් හේවාජුලිගේ )

රට පුරා ප්‍රධාන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ  බේකරි 12,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන වශයෙන් ගෑස් හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි  සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමයේ  සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය.

රාජ්‍ය ආයතනවල, පාසල්වල හා විශ්ව විද්‍යාලවල  ගෑස් හිඟය නිසා වැසි ගොස් ඇති  ආපන ශාලා සංඛ්‍යාව හාර දහසක් පමණ වන බවද  හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පවත්වාගෙන ගිය වඩේ , කඩල   සහ  සමෝසා වෙළෙඳසල්  5000ත් 6000ත් අතර සංඛ්‍යාවක්ද  ගෑස් හිඟය සහ  අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම ඇතුළු හේතු නිසා  වැසී ගොස් ඇතැයි පවසන සභාපතිවරයා  ගෑස් හිඟයට අමතරව  පාන් පිටි, එළවළු, කිරිපිටි, කුළුබඩුවල මිල ඉහළ යෑම නිසාද බොහෝ  හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක්  උදාවී ඇතැයි පැවසුවේය.

රටපුරා බේකරි  හත් දහසක් පමණ පවතින අතර  ඉන් තුන්දහස් පන්සියයක් පමණ ගෑස් සහ  අමුද්‍රව්‍ය හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව  වැසි ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සහන නොලැබුණහොත් සෙසු බේකරිද  ඉදිරියේදී වැසී යා හැකි බව එම සංගමය අනතුරු හඟවයි.

සාමාන්‍යයෙන් ප්‍රධාන නගරයක හෝටලයක තේ පිළියෙල  කිරීම සඳහා  දිනකට කිරි පිටි කිලෝ පහක් පමණ පාවිච්චි කෙරෙන අතර කිරිපිටි හිඟය කිරි තේ සැපයුම සම්පූර්ණයෙන්ම පාහේ නතරවීම නිසා  එම ආදායමද  සම්පූර්ණයෙන්ම  ඇනහිට  ඇතැයි  ඒවායේ  හිමිකරුවෝ පවසති.

ප්‍රධාන නගරවල හෝටල් බොහොමයක් පවත්වාගෙන යන්නේ කුලී පදනම මත හෙයින්   පවතින ආර්ථික  තත්වය යටතේ ආදායම   අඩුවීම නිසා එම කුලී මුදල් ගෙවා ගැනීමට පවා නොහැකිවීමෙන් ඒ හෝටල් මෙසේ  වැසී ගොස් ඇති බව  අප කළ  සොයා බැලීමකදී තොරතුරු  අනාවරණය විය.

මේ අතර බේකරි නිෂ්පාදන සඳහා පනවා තිබූ පාලන මිලෙන්ද  ඉවත්වූ බව බේකරි හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය දුර්වල වීම නිසාද බොහෝ හෝටල් ආපනශාලා සහ බේකරිවල ආදායම පහළ ගොස්  ඇති අතර ඉන්ධන මිල ඉහළ යෑමද හෝටල් සහ ආපනශාලාවල ආදායම කෙරෙහි ඉතා නරක ආකාරයෙන් බලපා ඇතැයි  ආරංචි මාර්ගවලින් පැවසේ.

පවතින තත්වය හේතුවෙන් හෝටල් , ආපනශාලා සහ  ආහාර ද්‍රව්‍යවල මිලද සැලකිය යුතු ප්‍රමාණයෙන්  ඉහළ ගොස් ඇත. සාමාන්‍යයෙන්  එළවළු අඩංගු බත්  පැකට්ටුවක් රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි දැනගන්නට  ඇත.

මේ අතර පාසල් වල ආපනශාලා දැඩි සෞඛ්‍ය නීති යටතේ පවත්වාගෙන යෑමට සිදුවීම නිසා ඒවායේ ආදායම බෙහෙවින් අඩුවී ඇතැයි ඒ ආපන ශාලා  හිමිකරුවෝ පවසති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)