(විනීතා එම් ගමගේ)

පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා 1971 දී ශ්‍රී ලාංකිකයෙකු වන කුමාර් ආනන්දන් තැබූ වාර්තාව බිඳිමින් නව ආසියානු වාර්තාවක් තැබූ ගුවන් හමුදාවේ නායක ගුවන්භට රොෂාන් අබේසුන්දරට පරිසර තානාපති ධූරයක් පිරිනැමීමට පරිසර අමාත්‍යංශ්‍ය පියවර ගත්තේය.

ඔහුට එම තානාපතිධූරය පිරිනැමීම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් අද (21) පරිසර අමාත්‍යංශයේ දී සිදුකෙරිණි.

තානාපතිවරයෙක් වශයෙන් පාසල් දරුවන් ඇතුළු ජනතාව දැනුවත් කරන්නට ඔහුගේ සේවය ලබා ගැනීමට තමන් පියවර ගන්නා බවත් ඔහුගේ සේවය ගුවන් හමුදාවට පමණක් නොව රටට ලැබෙන පරිදි කටයුතු කරන්නට පියවර ගන්නැයි තමන් ගුවන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කී අමාත්‍යවරයා ජනාධිපතිතුමන් ගෙන් ද එම ඉල්ලීම කරන බවද කියා සිටියේය.

සිය වාර්තාව ගැන අදහස් දැක්වූ ඔහු කියා සිටියේ සාගරයට පොලිතින් ප්ලාස්ටික් නොදමන ලෙස සමස්ත ලෝකවාසින්ගෙන් ඉල්ලීම සඳහා තමන් මෙම දුර පිහිනා වාර්තාවක් තබමින් ජනතා අවධානය යොමු කරවාගත් බවය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)