( තිළිණි ද සිල්වා )

ගතවූ සතියක කාලය තුල මෙරටට සංචාරකයන් 9,545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ඒ අනුව 01 වෙනිදා සිට 07 වෙනිදා දක්වා කාලය තුළ  මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

එම සංඛ්‍යාව 3107කි. රුසියානු සමූහාණ්ඩුවෙන් පැමිණ ඇති සංචාරකයන් ගණන 774ක්ද , එක්සත් රාජධානියෙන් සංචාරකයන් 764 දෙනෙකු පැමිණ ඇති අතර ජර්මනිය, පාකිස්ථානය, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව හා ස්විස්ටර්ලන්තය එම කාලය තුල වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණි රටවල් වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 07 වන දින දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 70,633 දෙනෙකු පැමිණ ඇතැයිද සංචාරක අමාත්‍යවරයා කීය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 13,547කි. ඔක්තෝබර් මාසයේදී එම සංඛ්‍යාව 22,771 දක්වා ඉහල ගිය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දේ.

සංචාරකයින්ට රට විවෘත කිරීමත් සමග ක්‍රමානුකූලව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩීවෙමින් පවතින බවත්, මෙර‍ට සංචාරක ව්‍යාපාරය යථාතත්වයට පත්වෙමින් පවතින බව එමගින් තහවුරු වන බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යලි සංචරණ සීමා පැනවීමකින් තොරව රට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ලබන වසර අවසන් වනවිට මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට සංචාරක ව්‍යාපාරයට සුවිශේෂ දායකත්වයක් දැක්විය හැකි වනු ඇතැයි විශ්වාසය පල කරයි.