(සුජිත් හේවාජුලිගේ )

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වයිරස ප්‍රභේද පුද්ගලයකුට එකවර ආසාදනයවීමෙන් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් මතුවිය හැකි බව රටවල් කීපයක සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසයි.

බ්‍රිතාන්‍යය සෞඛ්‍ය පර්යේෂකයන් කණ්ඩායමක්ද මේ පිළිබඳව අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින හෙයින් ශ්‍රී ලංකාවද ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙරට ප්‍රබලව පැතිර පවතින්නේද ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ ඔමික්‍රෝන් වලින් වැළකීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් එන්නත බවයි.

බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.