(සුජිත් හේවාජුලිගේ)

පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන ටොක්සොකාරා (toxocariasis) යනුවෙන් හැඳින්වෙන වට පණු රෝගයක් දරුවන් අතරේ මේ දිනවල සුලභව පැතිරෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

පාසල් නිවාඩුව නිසා දරුවන් මේදිනවල නිවෙස්වල වැඩි වශයෙන් පූසන් සහ කුඩා බලු පැටවුන් සමග කාලය ගතකරන හෙයින් එම සතුන්ගෙන් මෙම වටපණු රෝගය දරුවන්ට පැතිරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

පූසන් ,බලු පැටවුන් වැනි කුඩා සතුන්ගේ ශරීරයන්හි මෙම වටපණුවන් සුලභව වර්ධනය වන බවත් ඒ සතුන් සමග නිතර ගැටෙන දරුවන්ටද එම වටපණුවන් ඇතුළුවීමෙන් ඔවුන්ගේ සම මත මුල් අදියර යටතේ පණු ගෙඩි ඇති කරවන බවත් දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

අනතුරුව මෙම වට පණුවන් දරුවන්ගේ ඇස්වලට, මොළයට සහ පෙණහලුවලට ඇතුළුවීමෙන් බරපතළ සංකූලතා ඇති කරවන බවත් මෙම පණු රෝගයට ගොදුරු වූ දරුවන් පිරිසක් තමාට පසුගිය දින කිහිපයේදී හමුවූ බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

නිවෙස්වල සුරතලයට ඇති කරන මෙවැනි සතුන්ට පණු බෙහෙත් ලබාදීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකි බව ඔහු වැඩි දුරටත් පැවැසීය