(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අවස්ථා දෙකකදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මගහැරියේ යැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසයි.

බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණ ද ක්‍රීඩකයන් විවේකයක් ඉල්ලා සිටි බවත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා නැවත ලබාදුන් දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට ක්‍රීඩකයන් ගිය බවත් මහතා කියයි.

මෙම තත්වය හමුවේ කණ්ඩායම් කළමනාකාරිත්වයට ලබාදී තිබෙන ඉලක්ක මත බංග්ලාදේශයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පවත්වා තිබූ බවත් බංග්ලාදේශයේදී එය පවත්වන තෙක් තමන් නොදැන සිටි බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට ශාරීරික යෝග්‍යතාවය වඩාත් වැදගත් බවත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙනී නොසිටි සහ අසමත් වූ කීඩකයන් පස් දෙනෙකු අද (04) එයට සහභාගී වීමට නියමිත බවත්ය.