(මනෝප්‍රිය ගුණසේකර)

ජීවානුහරණය කළ කාබනික පොහොර ගෙන්වීමට ටෙන්ඩර් ලබාගෙන බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් සිටින පොහොර තොගයක් ලංකාවට ගෙනා බව කියන චීන සමාගමට එහි ශ්‍රී ලංකා නියෝජිතවරයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ද අදාළ චීන සමාගම ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක වාරණ නියෝගයක් නිකුත් කොට තිබූ අතර අද දෙවැනි වරටත් මෙලෙස වර්ණ නියෝගයක් නිකුත් කෙරිණි.

"කුවින්ඩාඔ' නමැති චීන සමාගම විසින් ආරම්භ කරන ලද ණයවර ලිපියට අනුව එම සමාගම වෙනුවෙන් මුදල් ගෙවීම හෝ මුදල් ලබාගැනීම වළකාලමින් වාණිජ මහාධිකරණය මෙලෙස වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබූයේ ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ලංකා පොහොර සමාගම විසින් කුවින්ඩාඔ සිවින් බයොටෙක් ගාප්‍ කොම්පනි නමැති චීන සමාගම එහි දේශීය නියෝජිතවරයා සහ මහජන බැංකුව වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා කරුණු ඉදිරිපත් කරමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබා ගත් වගඋත්තරකාර කුවින්ඩාඔ සිවින් බයොටෙක් ගාප්‍ කොම්පනි නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දුන්නේය.