(අජන්ත කුමාර අගලකඩ)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන මස තුන් වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මෙම පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන මස දෙවැනි දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රට තුළ වැරදි මතයක් ඇතිවී තිබෙන බව පවසා ඇති ජනාධිපතිවරයා එය නිවැරදි කළ යුතුව ඇතැයි ද සඳහන් කර ඇත.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රැස්වීය.
මේ අතර, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඉකුත්දා පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළේය .
COMMENTS
රටේ පුරවැසියන්ගෙන් අයකර ගන්න විවිධ බදු මහාභාණ්ඩාගාරයෙන් නැවත විවිධ ආයතනවලට ලබාදෙන්නේ රටට යහපතක් කරන්න වුණත්, විශ්ව විද්‍යාල පටු දේශපාලන බලුපොරපිටි වෙනවිට මේ රටේ ළමයින්ගේ අධ්‍යාපන අවස්ථා වසර ගණන් ප්‍රමාද වේ. කවුරු මොනවා කිව්වත්, නිදහස් අධ්‍යාපනය කියලා කිව්වට, මේ වියදම් දරන්නේ මේ රටේ ජනතාව... ඒ නිසා ජනතාවගේ දරුවන්ට මොන විදිහකින් හෝ අධ්‍යාපනය ප්‍රමාද නොවී කරගෙන යාමට හැකිවිය යුතුයි.