(රංජිත් රාජපක්ෂ)
                       
නාවලපිටිය පොලිස් වසමට අයත් මාවතුර දඹගල්ල ප්‍රදේශයේ කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක  තිබී පුපුරන ද්‍රව්‍ය රැසක් සොයාගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.පි.කළුගම්පිටිය මහතා පැවසීය.
 
කොත්මලා ඔයේ දියනෑමට ගිය තරුණයන් පිරිසක් ගල් බෙනයේ වූ පුපුරන ද්‍රව්‍ය දැක ඒ බව නාවලපිටිය පොලිසියට දැනුම්දී ඇත.
 
ගල් බෙනයේ තිබී ඩෙටනේටර් 99 ක්, සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ යුද හමුදාව විසින් උත්සව අවස්ථාවල භාවිත කරනු ලබන දුම්බෝම්බ 8ක්ද  සොයාගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
 
ඩෙටනේටර් 99,  මහනුවර පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ආරක්ෂිත හේතු මත එම ස්ථානයේදී ම පුපුරවා විනාශ කර ඇත. සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සහ දුම්බෝම්බ වැඩිදුර පරීක්ෂණ සඳහා නාවලපිටිය පොලිසියට භාර දී ඇත.
 
ගල් බෙනයේ තිබූ පුපුරන ද්‍රව්‍යයකිසියම් පිරිසක් රැගෙනවිත් සඟවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීහු සැකකරති.
 
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.