(යොහාන් භාසුර )

නීති විරෝධී ආකාරයට ආනයනය කළ රුපියල් කෝටි දෙකකට අධික වටිනාමකින් යුත් සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු රූපලාවණ්‍ය භාණ්ඩ සහ පාවහන් තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

ඔරුගොඩවත්ත ආර්.සී.ටී. රේගු බහාලූම් අංගනයේ සැක සහිත බහලූමක් තුනක් පරීක්‍ෂා කිරීමේදී මෙම රූපලාවණ්‍ය භාණ්ඩ සහ පාවහන් තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ලන්ඩන් නුවර සිට පුද්ගලයන් හත් දෙනකුගේ පෞද්ගලික භාණ්ඩ ලෙස ඒවා තිබු අඩි 20 ක බහලූමක එක් පුද්ගලයකුට අයත් පෙට්ටි නවයක රුපියල් ලක්‍ෂ 90 ක් වටිනා සුප‍්‍රසිද්ධ රූපලාවණ්‍ය ආලේපන තොගයක් සොයාගත් බවත් ඩුබායි සිට ඒවා තිබු පුද්ගලයන් 43 කගේ පෞද්ගලික භාණ්ඩ යැයි පෙට්ටි 121 ක් සහිත අඩි 40 බහලූම් දෙකක පුද්ගලයන් 7 දෙනෙක්ට අයත් පෙට්ටි 14 ක ලක්‍ෂ 120 කට අධික කාන්තා සහ ළමා පාවහන් තොගයක් සොයාගත් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

මෙම භාණ්ඩ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මක වන බවත් විමර්ශන අවසානයේ මෙම භාණ්ඩ රාජසන්තක කර දඩ පැනවන බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.