(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්  ගිවිසුම වළක්වාලන  නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා  ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන සලකා බැලීමට  ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද(13) නියම කළේය.

මෙම පෙත්සම් අද(13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී. බී.දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක  සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මෙම නඩුවට අදාළ නොතීසි  ලැබී නොමැති බවය. ඒ අනුව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියාය.

එහිදී පෙත්සම් ඉදිරිපත් කළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගත යුතු පෙත්සමක් බව පෙන්වා දුන්නේය. රජය අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් මගින් මෙරට ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන අතිශය සංවේදී ගිවිසුම් බවද ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා මහතා කීය.

එලෙස පැමිණෙන ඇමරිකානු හමුදාවන් මෙරට හෝ ජාත්‍යන්තර කිසිදු නීතියකට යටත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙරට ඉඩම් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ බලය ඇමරිකාවට හිමිවන බවද පෙන්වා දුන්නේය.

සියලු කරුණු සලකා බැලු  පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 31 වනදා සිදු කරන බවත් වගඋත්තරකරුවන්ට අවශ්‍ය කරනු ලබන ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුමඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට  දැනුම් දුන්නේය. අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ යන පාර්ශව විසින් පෙත්සම් ගොනු කර තිබූණි.

පෙත්සම්කරුවන් කියාසිටින්නේ  මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්  වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක්  සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව කියා සිටියි.

එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ  මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.