(බිඟුන් මේනක ගමගේ)
යුද්ධයෙන් පසු උතුර සංවර්ධනයේදී උතුරු පළාත් සභාව පිහිටුවීම වැදගත් පියවරක් වුවත් පළාත්වාසීන්ගේ ජීවිත යහපත් කිරීමට එය නිසියාකාරව මැදිහත් නොවී යැයි සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්යසාධක බළකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා චෝදනා කරයි.
පළාත් සභාවෙහි සම්මත කළ 400කට අධික යෝජනා බහුතරයක අන්තර්ගත වී තිබී ඇත්තේ බලය බෙදීම හා ස්වයංපාලනය ආදී කරුණු යැයි ද පළාත් සභාවට සංවර්ධන කටයුතු සඳහා ලැබුණු මුදල්වලින් 40% කට වැඩි කොටසක් පාවිච්චියට ගෙන නැතැයි ද ආචාර්ය සරවනමුත්තු මහතා ලංකාදීප සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
කාන්තා ගෘහ මූලිකයන් සිටින උතුරේ පවුල් ගණන 40,000කට අධික යැයි කී හෙතෙම උතුරු පළාත් සභාව එවැනි දැවෙන සමාජ ප්‍රශ්න සැලකිල්ලට නොගැනීම කනගාටුවට කරුණක් යැයි ද අවධාරණය කළේය.
දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ දේශපාලන නියෝජිතයන්ට මෙම කාරණා ආමන්ත්‍රණය කිරීමට නිශ්චිත සැලැස්මක් තිබිය යුතු යැයි ද උතුරට ප්‍රබල ආර්ථික වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය යැයි ද සරවනමුත්තු මහතා සඳහන් කළේය.
උතුරේ ජනතාව මේ තත්ත්ව ගැන මනා සංවේදීභාවයෙන් සිටින්නේ යැයි ද මැතිවරණවලදී දේශපාලන නියෝජිතයන්ට ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුවනු ඇතැයි ද ආචාර්ය සරවනමුත්තු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
යුද්ධය පැවැති කාලයේ වූ සිදුවීම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් සාමාජිකයන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වන සේ සංහිඳියාව සඳහා ප්‍රවිචාරණ කාර්යසාධක බළකාය පත්කෙරිණි.
(ඡායාරූපය - චතුර එස්. කොඩිකාර)

COMMENTS
දැන්ද තේරුනේ . වැඩක් කරනවට වඩා අනුන්ට බැන බැන ලෝකෙ වටේ රවුම් ගහන එක ලේසියි . දුන්න දෙයින් යමක් නොකර තව මොනවාද කතා.
මම මුල ඉඳලම කියන දෙයක් තමයි මේක... විග්නේශ්වරන්, සිවාජිලිංගම් මුල ඉඳලම ජනතාව වෙනුවෙන් කිසි යෝජනාවක් ගෙනාවේ නැත. නිකන් බොරුවට කාලේ නාස්ති කරලා දැම්මා.
උතුරේ ජාතිවාදී දේශපාලකයින්ට ඕනේ රටේ ආණ්ඩුවෙන් උතුරට කිසි වැඩක් නැහැ... ඒ නිසා වෙනම පාලනයක් ඕනේ කියන මතය දෙමළ ජනයා මත පටවන්න. එ්කනේ ආණ්ඩුවෙන් දෙන සල්ලිවලින් බාගෙට බාගයක් කිසිවැඩක් නොකර ආපහු එවන්නේ... එහෙම කරලා මිනිස්සුන්ට කියනවා පේනවනේ ආණ්ඩුවෙන් උතුරට මුකුත් කරන්නේ නෑ... අපි වෙනම පාලනයක් ඉල්ලා ගත්තොත් නම් ඔක්කොම කරලා දෙන්න පුළුවන් කියලා. දෙමළ මිනිස්සු මේ ජාතිවාදී දේශපාලකයන්ගේ අතකොලු වෙලයි ඉන්නේ... හැබැයි දකුණේ දේශපාලකයෝ මේ තත්වේ වෙනස් කරන්න මුකුත් කරන්නෙත් නෑ...
පළාත් සභා කොහොමත් සුදු අලියෙක්. පළාත් සභා සතු බලතල පළාත් පාලන ආයතන වෙත පවරා දී පරිපාලනය ප්‍රාදේශීය ලේකම් වරුන්ට ලබා දිය යුතුයි.
කොහොමත් විග්නේශ්වරන් යටින් උදව් කරන්නේ එයාගේ වාසුදේව මස්සිනාගේ පිලට. එයාට ඕන උනේ උතුරේ ජනතාවට මේ ආණ්ඩුවෙන් කිසිම සේවයක් වුනේ නැහැ කියලා පෙන්නන්න. ඒ නිසයි පළාත් සභාවට ලැබුණ මුදලුත් වැඩක් නොකරා ආපහු යැව්වේ. ඊළඟ වතාවේ ජනතාව එයාට පිලිතුරු දෙයි.
මේ කතාව සහතික ඇත්ත. දකුණේ කියලා වෙනසක් නැහැ. උතුරේත් දකුණේත් දේශපාලකයින්ට ජනතාවට වැඩක් කරන්න උවමනාවක් නැහැ. ඔවුන් බලන්නේ ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ගේ ඡන්දය කොල්ල කන්න විතරයි
උතුරු පළාත් සබාව විතරක් නෙවෙයි උතුරෙන් එන එක දේශපාලකයෙක් වත් ජනතාව ගැන හිතන්නේ නෑ. ඕනි උන්ගේ බලේ රැකගන්න විතරයි. මේක හොඳම උදාහරණය බලය බෙදීමෙන් ප්‍රශ්න විසදෙන්නේ නෑ කියන එකට. මිට වඩා බලය දුන්නත් අන්තිමට ඔය ටිකම තමයි වෙන්නේ.