(ඉන්දිකා රාමනායක)

මුළු දිවයිනට ඇදිරී නීතිය  ක්‍රියාත්මක  යැයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ   ලිපි ශිර්ෂයක් උපයෝගි කරගෙන   ව්‍යාජ ප්‍රවෘත්තියක්   නිර්මාණය  කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයෙකු   මීටියාගොඩ ප්‍රදේශයේ  දී අද  (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු  ඉකුත්  සඳුදා දින ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශිර්ෂය යොදාගෙන විද්යුත්  මාධ්‍ය ආයතනයක ලාංජනය උපයෝගී කරගෙන  මෙම  ව්‍යාජ ලිපිය සකස්කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර  තිබු බව  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර  මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය,පොලිස් ආඥාපනත හා පරිගණක අපරාධ පනතෙ යටතේ  නඩු පවරණ බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරු  හෙට  (9)   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත්  කිරීමට නියමිතය.

මෙවන් ආකාරයේ වැරදි ප්‍රවෘත්ති වලට නොරුවටෙන ලෙසත් සමාජ ජාලා වල මෙවන් ව්‍යාජ ප්‍රවෘත්ති  දුටු සැනින් ඒවා බෙදා නොහරින ලෙසට ඉල්ලා සිටින බවත් අජිත් රෝහණ මහතා  කීය.

මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය  කිරීමෙන් වැලකී සිටින ලෙසට එවන් සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවදානයෙන් සිටින බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.