(යොහාන් භාසුර)

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) විවෘත කිරීමෙන් පළමු මාසය තුළ රථවාහන ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවක් ධාවනය කර ඉන් කෝටි 10 කට අධික ආදායමක් උපායා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනවාරි මස 16 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා අතර කාලය තුළ රථවාහන 510,670 ක් එම මාර්ගයේ ධාවනය කර ඇති අතර එම රථවාහන ධාවනයෙන් රුපියල් 109,659,600.00 ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස පසුගිය ජනවාරි මස 15 වැනිදා ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ ජනතාවට නොමිලේ පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදුන් බවත් ජනවාරි මස 16 වැනි දින මධ්‍යහන 12.00 පසුව මුදල් අය කිරීම ආරම්භ කළ බවත් අමාත්‍යවරයා කීය.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල මෙම මාර්ග කොටසේ අන්තර්හුවමාරු පිහිටා තිබේ.

මෙම මාර්ගයේ ආදායමෙන් සියයට 100 ක්ම රජයට හිමිවේ.