(හර්ෂණ තුෂාර සිල්වා)
ආරක්ෂාව සම්බන්ධයෙන් අපගේ සාර්ථකත්වය තීරණය වන්නේ තොරතුරු ලැබෙන්නේ කෙසේද එම තොරතුරු භාවිත කරන්නේ කෙසේද යන කරුණු මත යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹදී අද (29) පැවැසීය.
‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව යටතේ ආරම්භ වූ ‘කොළඹ ආරක්ෂක සමුළුව 2019’ අමතමින් යුද හමුදාපතිවරයා එම කරුණු සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ ද කීය.
“කොළඹ ආරක්ෂක සමුළුව ආරම්භ කරන ලද්දේ 2010 වසරේදී බවත් මෙවර සමුළුව පැවැත්වෙන්නේ අඛණ්ඩව නවවැනි වරටයි. කොළඹ ආරක්ෂක සමුළුව ආරම්භ කරන ලද්දේ අපේ අත්දැකීම් බෙදාහදා ගැනීමටයි. අපේ සාර්ථකත්වය පමණක් නොව අප මුහුණ දෙන අභියෝග ද බෙදාහදා ගැනීම අපේ අරමුණයි. අද තොරතුරු යුගයක් නිර්මාණය වී තිබෙනවා. තොරතුරු යුගයේදී සාර්ථකත්වය තීරණය වන්නේ තොරතුරු ලැබෙන ආකාරය, තොරතුරු කළමනාකරණය, භාවිත කිරීම සහ ඒ තොරතුරු භාවිත කරමින් ක්‍රියාත්මක වන ආකාරය මතයි. ඒ නිසා එකම විදියට හිතන පතන ජාතීන් සමඟ තොරතුරු බෙදා හදා ගත යුතු බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා.
ලෝ ප්‍රකට විද්‍යාඥයකු වන ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රකාශයක් සිහිපත් කරන්න කැමැතියි. “තුන්වැනි ලෝක යුද්ධයට භාවිත කරන ආයුධ මොනවදැයි මං දන්නේ නැහැ. හැබැයි හතරවැනි ලෝක යුද්ධය කරන්න වෙන්නේ ගල් සහ මුගුරුවලින්” යැයි ඔහු කීවා.
අද වනවිට අපි රොබෝ කාලසීමාවකට, රොබෝ යුගයකට පැමිණ සිටිනවා. අපට තාක්ෂණය වැළැඳගන්නට සිදුව තිබෙනවා. අයින්ස්ටයින්ගේ ප්‍රකාශය සිහිපත් කළාම ප්‍රශ්න කිරීමකින් තොරවම තාක්ෂණය වැළැඳ ගැනීම ගැන මම ටිකක් පසුබට වෙනවා. ඒ ගැන දෙගිඩියාවක් ඇති වෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් මනුෂ්‍යයන්ගේ මැදිහත්වීම ඉතා ඉක්මනින් හෝ අපරීක්ෂාකාරී ලෙස ලිවිය හැකි දෙයක් නෙමෙයි.
ව්‍යාපාර ලෝකය සමාගම් ලෝකය හිතන විදිය ගැනත් මට මතක් වෙනවා. මිනිස්සු, ග්‍රහයා මහ ලාභය යනුවෙන් ව්‍යාපාර ලෝකයේ සංකල්පයක් තිබෙනවා. ත්‍රිපල් බොට්ම් ලයින් යනුවෙන් එම සංකල්පය නම් කර තිබෙනවා. නව්‍ය යුගයේ ආරක්ෂාවත්, ආරක්ෂාවේ අනාගතයත් එවැනි සංකල්ප අනුගමනය කළ යුතු බව මම දැඩි සේ විශ්වාස කරනවා. එසේ කළත් හමුදාවේ අනන්‍යතාව ආරක්ෂා කළ යුතුයි. ස්වෛරී රාජ්‍යයක ස්වකීය ආරක්ෂකයා වන්නේ හමුදාවයි. ජාතිය ගොඩනැගීමේදී ඒ රටේ හමුදාව ඉතා සුවිශේෂී වගකීමක් සහ භූමිකාවක් ඉටු කරනවා” යැයිද යුද හමුදාපතිවරයා පැවසීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)


COMMENTS
මම හිතන්නෙ මෙම වචන වල ගැඹුරු අප රටෙහි හමුදාමය ව්‍යුහය තුලටත් මනාව උපයෝගි කොට ගත්හොත් අප රටේ රණවිරුවන් පිරිස ලොව සිටින සුපිරිතම හමුදාවක් බවටත්... අප රටෙහි අාරක්ෂාව ලොව ඇති ප්‍රභලම ආරක්ෂක සැලැස්මක් ලෙසටත් පරිවර්ථනය කල හැකියැයි කියා.... මම හිතන්නෙ මෙතුමට ඒ සදහා හැකියාව ඇතැයි කියා... මොකද අනාගත ආරක්ෂක අභියෝග වලට මුහුණදීමට වඩාත් වැදගත් වන්නෙ සුපිරි අවිවලටත් වඩා නිවැරදි තොරතුරුයැයි අතීතය දෙස බලන විට අපට මනාව පසක් වන නිසා....
මෙතුමා ගැන අමුතුවෙන් කිව යුතු නෑ. රටේ ආරක්ෂාව ගැන යුධ හමුදාවේ දායකත්වය ගැන දෙමාපියන් සේ ව්ශ්වාසයි. ගෝඨාභය මැතිතුමා සමඟ මොවුන් අපේ රට රැකගෙන පෙන්වුවා.