(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (7) පැවැත්වීමට නියමිතව තිබූ එම පක්‍ෂ දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනාරාධිතව පැමිණීමෙන් ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා රැස්වීම අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා වේ.
පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර මෙම කලබලකාරී තත්ත්වයෙන් පසු හිටපු ජනාධිපතිවරයා ද එහි පැමිණ නොමැත.
හිටපු ජනාධිපතිනියගේ පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පා එහි පැමිණ සිටි සංවිධායකවරුන් එතැනින් ඉවත්ව ගොස් ඇති අතර අවසානයේ හිටපු ජනාධිපතිවරිය ද එතැනින් පිටව ගොස් තිබේ.
පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම රැස්වීම සංවිධානය කර තිබූ බවත් එයට සහභාගී වන්නන් වෙනුවෙන් උදාවූ නව වසර නිමිති කරගනිමින් කිරිබත්, කැවුම් මේසයක්ද සූදානම් කළ බවත් පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
එයට පක්‍ෂයේ සියලූ මැති ඇමැතිවරුන්ට හා සංවිධායකවරුන්ට ආරාධනා කර තිබූ බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.
ඒ සඳහා සංවිධායකවරුන් පැමිණෙමින් සිටි අතරවාරයේ දී තවත් පිරිසක් සමඟ පක්‍ෂ මූලස්ථානයට පැමිණි හිටපු ජනාධිපතිවරිය ද රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ එහි පස්වැනි මහලේ පිහිටි ශ‍්‍රවනාගාරයට ගොස් එහි ඉදිරි පෙළ අසුනක අසුන් ගෙන නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රිනී ආරියවතී ගලප්පත්ති මහත්මිය සමඟ සුහද කතාබහක නිරත වෙමින් සිටි බව ඔහු සඳහන් කළේය.
ඇගේ පැමිණීම සම්බන්ධයෙන් පක්‍ෂ මූලස්ථානය සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ද දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා විරෝධයක් දක්වා නොමැති අතර ඇගේ පැමිණීම ගැටලූවක් නොවන බව පැවසූ බව ද හෙතෙම කීවේය.
නමුත් පැමිණ සිටි ආසන සංවිධායකවරුන් හිටපු ජනාධිපතිනියට විරෝධය දක්වා ඇති අතර ඇය විරෝධතා නොතකා එම ස්ථානයේ රැඳී සිට ඇත.
පසුව ඇය සිටින ස්ථානයක තමන් නොරැදෙන බව පවසමින් එම ආසන සංවිධායකවරුන් එතැනින් පිටව ගොස් තිබේ.
ශාලාවේ සිටි පිරිස එතැනින් ඉවත්ව ගිය පසු හිටපු ජනාධිපතිනිය ද එතැනින් පිටව ගොස් ඇති අතර රැස්වීමේ කටයුතු ද පැවැත්වීමට නොහැකි වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (7) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී මහලේකම්වරයා පැවසුවේ හිටපු ජනාධිපතිනියට පක්‍ෂ මූලස්ථානයට පැමිණීම තහනම් කර නොමැති නමුත් ඇයට විරෝධයක් එල්ලවීම සාමාන්‍ය තත්ත්වයක් බවය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහායදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන තිබියදීත් හිටපු ජනපතිනිය වෙනත් තීන්දුවක් ගැනීම අනුමත කළ නොහැකි බව ද මහලේකම්වරයා කීවේය.
ඇය සජිත් ප්‍රේමදාස මහතාට සහායදීමට ගත් තීන්දුව නිසා පක්‍ෂ ආසන සංවිධායකවරු ඇයට විරෝධය පාන්නට ඇතැයි කී දයාසිරි ජයසේකර මහතා එම අවස්ථාවේ තමන් එහි නොසිටි බව ද සඳහන් කළේය.
එමෙන්ම පසුගිය කාලයේදී පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පිටු පෑ සාමාජිකයින්ට එරෙහිව විනය පියවර ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවද මහලේකම්වරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම තැනකට වැද්ද නොගතයුතු කෙනෙක්. ගිය තැන විනාශයි.
චන්ද්‍රිකා වැරදීමකින් සිරිකොත කියලා හිතාගෙන ඉන්න ඇත්තේ. පව් එයාට පොඩි වැරදීමක් වෙලා.
මේ අය චන්ද්‍රිකා මහත්මියගෙන් තනතුරු ගත්තු අය නේද? ගොඩක්... අනෙක මේකෙන් කියවෙන්නේ රටේ ලොකුම පුටුවේ හිටියත් ඉන්දෙද්දී කරපු හොද නරක අනුවි ඉතිරි කාලේ ගෙවන්න වෙන්නේ... මේවා හැමෝටම හොඳ පාඩම්.. නිලධාරීන්ට, දේශපාලකයින්ට ගතහැකි අාදර්ශ බොහොමයි.
බණ්ඩාරනායක මහත්තයා හිටියා නම් එතුමාට මොනවා හිතෙයිද?
අප්පච්චිට වචනේ දීපු නිසා රෑනට කරගන්න දෙයක් නැහැ. අනික හිටන් කියන්නෙත් අප්පච්චිගේ අතකොලුවක්නේ. අනේ මෙහෙමත් කාඩයෝ ටිකක්.
ශ්රී ලනිපයේ නිර්මාතෘවරු.. ලෝකයම පිළිගන්නේ කබල් ශ්‍රීලනිප කාරයින් නෙවෙයි. බලපල්ලා ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයට ගිහින් සිරිමා මැතිණියට, බණ්ඩාරනායක පරම්පරාවට සලකලා තියන විදිය..
අත්තනගල්ලේ කුමාරිහාමිට මොන දේශපාලනයද? ඕකට තමයි කියන්නේ තණ්හාය ජායතී සෝකෝ කියලා.මේකත් අපේ රටට තියෙන එක කොඩිවිනයක් තමයි.
විදුලි බුබුලක කාලයක් තියෙනවා. පැය 1000 ක් වගේ. කාර් එකක ආයු කාලයක් තියෙනවා කිලෝ මීටර් ලක්ෂයක් වගේ. ඒ බව බල්බ් එකත් දන්නවා, කාර් එකත් දන්නවා. ඒ ආයු කාලය ගෙවුන හැටියේ ඒවා සේවයෙන් ඉවත් කෙරෙනවා. දේශපාලුවෝ කිසිම කෙනෙක් මේ සත්‍යය දන්නේ නැති හැටි. හොට බිම ඇනිලත් තව ඉන්න තමයි හදන්නේ...........
දිගින් දිගටම පරාජයේ අමිහිර දුටු ශ්‍රි ලංකා කාරයන් 1983 වසරෙන් පසු ජයග්‍රාහී මාවතට ගත්තේ මෙතුමිය බව බොහෝ දෙනෙකුට අමතකයි. එම පරාජය වැලැක්වීමට රාජපක්ෂවරුන්ටද නොහැකි විය. තව කල් ගියේ නම් ශ්‍රීලනිපයට අද ඇතිවු තත්වය ඇතිවනුයේ එදාය. සාටකයෙන් කැපෙනවට බයේ බොහෝ දෙනෙක් මගහැර යන්නට ඇත. මෙතුමිය නිවැරදි නැතත් දැන් සිටිනා අයට වඩා හොඳය. එඩිතරය.
අනේ මන්දා... මෙයා ගියතැනක නිකන් පල්වෙනවා. දැන් මේ මරන්න යන වෙලාවේ පිනක් කර ගත්තොත් නරකද, නිකන් පල් නොවී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ වාසිය පාවාදුන්නා සිරිසේනද හොඳ වෙලා තිබෙන්නේ... මහජන සල්ලිවලින් විදේශ සංචාරය කළ කෙනාද ඉස්මතුවෙලා තිබෙන්නේ...? දැන් රෝන්දේ යන්න බැරිව ගෙදරට වෙලා ඉන්නවද? බණ්ඩාරනායක මහත්මයා හැදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් නැත්තටම නැතිවෙලා තිබෙන්නේ...
ලූලා එනකොට කනයෝ දුවනවා නේන්නම්...
අම්මෝ පුදුම කෙනෙක්නේ....
අයියෝ ගම කනවා පාඩුවේ විශ්‍රාම යන්නේ නැතුව...
කනගාටුදායකයි. මෙතුමිය මෙතනට ආවම මොකද්ද තිබෙන ප්‍රශ්නය? මේ පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ සභාපතිවරයා විරෝධයක් දක්වා නොමැති නම් සහ ඇගේ පැමිණීම ගැටලූවක් නොවන බව පැවසූවා නම් තව මොනවද?
ලෝකයේ ප්‍රථම අගමැතිනිය ගේ දියණිය මෙතුමියයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ තුමන්ගේ දියණියයි. මෙතුමිය එම පක්ෂයේ ප්‍රධාන අනුශාශක තුමියයි. එතුමියට ලියුමක් යවා ගෙනා ගත යුතුව තිබුනත් තියන නිවටකමට සහ උද්ධච්ච කමට මෙතුමියට ආරාධනා යැව්වේ නැහැ, කාටත් වඩා දියරුකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ගැන ඇගේ ලේ කැක්කුම මෙතුමියටයි.
යන තූත්තුකුඩියකට මකබෑවිලා යන්නේ නැතුව මොන මගුලකට එනවද මන්දා...?
බොහෝ අයට වැරදිලා වෙන්න ඕනේ. ශ්‍රීලනිප යූඑන්පී දෙකම කාලා ලංකාවේ නියම බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය විෂ බඳුනක් කලේ පසුගිය වසර දහය ඔය පක්ෂ දෙකට නායකත්වය දීපු අයයි. තවමත් අපේ මිනිස්සු පුද්ගල නායකත්වය පසුපස යනවා. එය ඒකාධිපතිත්වය කියලා හඳුනාගෙන නැති නිසා... කණගාටුයි.
කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මෙසේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැක. මෙය සියලු ජනාධිපතිවරුන්ගේ ආත්මගෞරවයට කැළලක් වනු ඇත.
මැතිනියනි, මෙන්න මේ ටික කල්පනා කරලා බලන්න. හැම වෙලාවේම උනේ , කොමිනිස්, දැකැති මිටි, රතු පාට කොඩි, වාමාන්සිකයෝ කියන කපටි ටික අස්සට රිංගවා ගත්තම ඔන්න ඕක තමයි වෙන්නේ.
තව පල් වෙන්න... ඔය සක්කිලි වැඩ හින්දා යන එන මන් නැහැ. නියමයි මෙයා හිතනවා ඇති මිනිස්සු මෙයාව පිළිගන්නවා කියලා... තවම යන යන තැන හූ කියන්න ඕන මෙයාට...!!!
ඔහේ ඇවිත් ගියා වේ. කාටත් මොකෝ? අපේ රටේ දේශපාලුවෝ කරන දේවල් දිහා බැලුවම මේවා මොනවද.
අර ඇමෙරිකාවේ ජනාධිපතිවරු දෙන්නයි ඉන්නේ... ඊට පස්සේ ගෙදර. ඇත්තටම දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන්න ඕනේ වරක් හෝ දෙවරක් ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ පසුව වෙනත් කිසිඳු මැතිවරණයකට ඉදිරිපත් නොවිය යුතුයි කියලා වගන්තියක්. රට කන්න මාර පෙරේතකමක්නේ තියෙන්නේ මෙයාලට...
කිරිබත් කැල්ලක් දීලා යන්න කිව්වනං හරිනේ. පල් වෙන එකේ සීමාවක් නෑ මෙයාට නම්...............