IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මේක කළු දශකයේම දිගුවක්

ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ සිදුවූ ආණ්ඩු පෙරළිය අන් කිසිවක් නොව 2015 පෙර තිබූ කළු දශකයේම දිගුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි. ඉතිහාසයේ සිදුවූ අයුරින්ම නැවතත් සිදුවෙමින් පවතින්නේ බල සූදුවක් නිර්මාණය වීම බවත් එයින් මුළාවේ නොවැටී අයිතිවාසිකම් වෙනුවෙන් පුළුල් කතිකාවක් ගොඩනැගීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරවන බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

බත්තරමුල්ල ජවිපෙ කාර්යාලයේදී පැවැති එම මාධ්‍ය සාකච්ඡාවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූයේ පහත ආකාරයෙනි.

අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ 26 වැනිදා රාත්‍රීයේ සිදුකළ දේශපාලන වෙනස්කම් සහ ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳව පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අදහස රටට කියන්නයි.

අපි කව්රුත් දන්නවා, 2015 අවුරුද්දේ ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල්තම දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගුවා. දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, පුරවැසියන්, ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. නමුත් ඒ ගොඩනැගූ ජනතා බලවේගය මුළුමනින්ම කොල්ල කාලා රනිල් - මෛත්‍රී හවුල් ආණ්ඩුව පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මුළුමනින්ම එම ජනවරමට පිටුපෑවා.

රනිල් වික්‍රමසිංහත්, මෛත්‍රීපාල සිරිසේනත් තමන්ගේ දේශපාලන බල උවමනාව වෙනුවෙන් මාරුවෙන් මාරුවට වංචනිකයන්ව ආරක්‍ෂා කළා. අපේ රටේ වංචාව-දූෂණය නතර කරමින් යහ පාලනයක් ගොඩනැගීම පිළිබඳ අපේක්‍ෂාව එම බල හුවමාරුවේ තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහත් ඔහුගේ හවුල්කාර කණ්ඩායමත් කටයුතු කළේ මහා පරිමාණ වංචාවල සහ දූෂණ වල යෙදෙමින් ජනවරමට මුළුමනින්ම පිටුපා යන අන්දමින්.

ආර්ථික වශයෙන් විශාල පීඩාවකට පත්ව සිටින ජනතාවකට ජීවත් වීමට අවශ්‍ය අවම සහන, රැකියා උත්පාදනය, ආදායම් මාර්ග ඉහළ දැමීම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සේවාවන් වර්ධනය කිරීම ගැන අපේක්‍ෂා ඒ ජනවරමේ තිබුණා. හැබැයි රනිල්-මෛත්‍රී ආණ්ඩුව ක්‍රියා කරමින් හිටියේ ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් දේපොළ මංකොල්ල කමින්, ජනතාව මත අසීමිත බදුබර පටවමින් දිනපතා භාණ්ඩ මිල ඉහළ දැමීමේ විනාශකාරී ක්‍රියාමාර්ගයක.

එදා එම ජනවරමේ අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්පත් ආරක්‍ෂා කර ගැනීම පිළිබඳ පරමාර්ථය ගැබ්වී තිබුණා. නමුත් සිදුකළේ ජාතික සම්පත් විනාශයට යවමින් පහුගිය අවුරුදු තුන හමාර පුරා මේ දෙදෙනාම 2015 ලබාදුන් ජනවරමට පටහැනිව කටයුතු කිරීමයි. එහි තීරණාත්මක සිදුවීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 26වැනිදා සිදුකළා. ඔහු බලයට ගෙනඒම සඳහා කටයුතු කළ මුළු ජනතා අපේක්‍ෂාව අළුයම ලූ කෙළ පිඩක් සේ විසිකර දමා තමන්ගේ සතුරන් බවට පත් වූ කණ්ඩායම් සමග අතිනත ගැනීමක් සිදුවුණා.


මේ දේශපාලන සිදුවීමෙන් අපට කියා පාන්නේ කුමක්ද?
පොත් දහස් ගණනක් කියවලා ඉගෙන ගන්න බැරි පාඩම් එක් දේශපාලන සිදුවීමකදී මිනිස්සුන්ට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ දේශපාලනයේ තිබෙන කැත, නිර්ලජ්ජිත, කුමන්ත්‍රණකාරී ස්වභාවය මේ සිදුවීම්වලින් පැහැදිළියි.

2015 රනිල්-මෛත්‍රී හවුල ගොඩනැගෙන්නේත් පොදු ජනයාගේ උවමනාවන් අනුව නොවෙයි. බලය වෙනුවෙන් රනිල්ට මෛත්‍රීගේ සහාය අවශ්‍ය වුණා. මෛත්‍රීගේ පැත්තෙන් මුළු මැතිවරණ කාලය පුරාම තිබූ විවේචනය ඔහු අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ කාලයේ අත්විඳි හිංසනයයි. ඒ නිසා එදත් ඔහුට තිබුණේ පෞද්ගලික බල උවමනාවන්. ඒ වගේම 2015 මහ මැතිවරණයෙන් පස්සේ දෙන්න එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවේ, අමාත්‍යධූර වැඩිකළේ මේ දෙදෙනාගේම බල පංගුව ආරක්‍ෂා කර ගන්න.

එදා රාජපක්‍ෂගේ කළු දශකයේ විශාල චෝදනාවන්ට ලක්වූ පිරිස් ආණ්ඩුවට අරගෙන මෛත්‍රී-රනිල් දෙන්නා තමන්ගේ කැබිනට් මණ්ඩලයේ වාඩිකර ගත්තා. ඒ ජනතාව වෙනුවෙන් නෙවෙයි.

ජාතික ආණ්ඩුව ගොඩනැගුවෙත් බල පොරය වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් නොවේ. එදා මුලදී ජනතාවට කිව්වේ අවුරුදු දෙකකට ජාතික ආණ්ඩුව ගොඩනගන බවයි. හැබැයි විවිධ අවස්ථාවල දීර්ඝ කර ගනිමින් ඉදිරියට ගියා. ව්‍යාජ ජාතික ආණ්ඩුව පිටුපසත් කාලය දීර්ඝ කර ගැනීම පිටුපසත් තිබුණේ පොදු ජනතාවගේ උවමනාවන් නෙවෙයි. පසුගිය කාලය පුරාවටම මේ දේශපාලන පක්‍ෂ යැයි කියාගන්නා කල්ලි එකතු වෙන්නෙත් වෙන් වෙන්නෙත් ගහ ගන්නෙත් ආයේ යාළු වෙන්නෙත් පොදු ජනයාගේ උවමනාවන් වෙනුවෙන් නොවෙයි. ඔවුන්ගේ බල උවමනාවන් වෙනුවෙන්.

අන්න ඒ බල උවමනාවේ කැත, නිර්ලජ්ජිත කුමන්ත්‍රණකාරී පියවරක් තමයි 26වැනිදා මේ රටේ ජනතාවට එළිදරව් වුණේ. මෛත්‍ර්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම කියා තිබුණා, ජනාධිපතිවරණය පරාජය වූවා නම් ඔහුගේ පවුලේ සියලු දෙනා ජීවතුන් අතර නොහිටින තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව කිව්වා. ඒ කිව්වේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය කළා නම් ඔහු සැලසුම් කොට මෛත්‍රීපාල සිරිසේනගේ පවුලේ සියලු දෙනා ඝාතනය කරන බවයි රටට කිව්වේ.

අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළ, මේ කියූ ඝාතනය පිළිබඳව ප්‍රකාශ කරමින් දැන් අතිනත ගෙන සිටිනවා. දේශපාලනයේදී සාමාන්‍යයෙන් විවේචනයට ලක්වෙන්නේ දේශපාලන කරුණුයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් දේශපාලන කරුණුවලින්  එහා ගිය නමේ ස්වභාවය, ශරීරයේ ස්වභාවය, වචන උච්ඡාරණය, හැසිරීමේ ස්වභාවය ආදී වශයෙන් කවර දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් හෝ එල්ල නොකළ යුතු තරම් පහත් කොට සැලකීම, අවලාද නැගීම, අපිට දකින්න ලැබුණා.

රාජපක්‍ෂ කඳවුරේ මෛත්‍රීපාල පිළිබඳව තිබු විවේචනය හිටං, හුටං, ආප්පයා, වගේ වචනවලින් ප්‍රකාශ වුණා. හැබැයි ඒ මෛත්‍රීපාලයි ඒ මහින්ද රාජපක්‍ෂයි එකට එකතු වුණා. මේ රට ආර්ථිකමය වශයෙන් මුහුණ දී තිබෙන අර්බුදය, ජනතාව වෙනුවෙන්, සමාජයීය කඩා වැටීම, වගේ කරුණුවලින් ගොඩගන්නද මේ එකතු වුණේ? මේ එකතු වෙලා හැදෙන්නෙත් 2015ට කලින් තිබුණු එකමයි. එහෙනම් ඒක පරාජය කළේ මොකටද? කළු දශකය තුළ විනාශකාරී අත්දැකීම් ලබාදී තිබුණු නිසයි මේ රටේ ජනතාව ඒ පාලනය පරාජයට පත් කළේ. දැන් නැවත අටවා ගන්නේ 2015ට කලින් තිබුණු කළු දශකයේම දිගුවයි.


මෛත්‍රීපාලට හෝ මහින්ද රාජපක්‍ෂට හෝ නව දේශපාලනයක් රටට ඉදිරිපත් කළ හැකිද? ඒ දිවුරුම් දෙන අවස්ථාවේ වටේ හිටියේ කව්ද?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළ ජනාධිපති කොමිසමේදී කරුණු 34ක් පිළිබඳව පරීක්‍ෂා කළා. එම ජනාධිපති කොමිසමේදී මහින්ද රාජපක්‍ෂ චූදිතයෙක් ලෙස නම්කර තිබෙනවා. වීරවංශට චෝදනා තිබෙනවා.


මහින්ද යාපාට චෝදනා තිබෙනවා. මේ ආදී විශාල චූදිතයන් කණ්ඩායමක් වගේම මහජනයාගේ දේපොළ හොරකම් කිරීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව නඩු දාපු බැසිල් රාජපක්‍ෂ, වීරවංශ, මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය කව්ද? දේශප්‍රේමීන්ද? මේ ගොල්ලො එක කඳවුරකට එන්නේ මොකටද?

ඉතිහාසයේ වගේම අපේ රටේ කැත බල සූදුවකට තමයි මේ හවුල ඇතිවෙන්නේ. වර්තමාන ජනාධිපතිවරයා අපේ රටේ බංකොළොත්ම ජනාධිපතිවරයා වී අවසන්. 2015 ජනවාරි මාසයේ ඔහුට ලක්‍ෂ 62ක් ඡන්ද ලබාදී තිබුණා. 26වැනිදා වෙනකොට ඒ කිසිවක් නැති අයෙක් බවට පත්වුණා. ඒ වගේම ඔහුට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඡන්ද ලක්‍ෂ 58ක් දී තිබුණා. ඔහුත් ඒ වරමට පිටුපා තිබෙනවා.


ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලක්‍ෂ 62ක ජනවරමක් ලක්‍ෂ 58ත් දෙකම අහිමි පුද්ගලයෙක් බවට පත්වී තිබෙනවා. කැත, මජර, කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයක් හරහා තමන්ගේ බලය නැවත ස්ථාවර කර ගන්න ජනාධිපතිවරයාට ඕනෑ වී තිබුණා.

මහින්ද රාජපක්‍ෂත් එක්ක එකතුවෙලා රට හදන්න පුළුවන් නම් 2015ට කලින් අයින් වෙලා ආවේ මොකටද?

මහින්ද මේකට දායකත්වය සපයන්නේ ඇයි? මහින්දගේ කඳවුර බලය අහිමිව හිටියේ ඉතාමත් අසීරුවෙන්. ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට විරුද්ධව ලබන නොවැම්බර් මාසයේ විශාල නඩු ප්‍රමාණයක් අධිකරණයේ දින නියම වෙලා තිබුණා. ඒ වගේම බලය කෑදර ලෙස විඳපු අය එය අහිමි වීමේ වේදනාවෙන් මානසිකව පවා බිඳ වැටී සිටි අයට බලය ඕනෑ වුණා. මේ කසාදය ඕනෑ වුණේ ඒකටයි.

මේ අය කව්ද කියන්න ඉතාමත් හොඳින් දේශපාලන වේදිකාවට ගෙනත් තිබෙනවා. ඔවුන් තමන්ගේ බල උවමනාව වෙනුවෙන් ඉතාමත් කැත, නින්දිත, කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග ගන්න සූදානම් බව ඔප්පු කරලා ඉවරයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 2015 ජනවාරි මස 08 වැනිදා ලක්‍ෂ 62ක ජනවරමේ අපේක්‍ෂාවන් තව දුරටත් මෛත්‍රීට අයිති නැති බවත්, රනිල්ට අයිති නැති බවත් තේරුම් ගන්නා ලෙසයි. රනිල් වගේම මෛත්‍රී දෙදෙනාම ගෙවී ගිය කාලය පුරාවටම එම ජනවරම පාවාදී ඉවරයි. මේ රට නව දිශාවකට ගෙනියන්න නම් ජනවරමට වගකියන, ජනවරම නව දිශාවකට ගෙනියන ජනතාවත් එක්ක ගමන් කරමින් නව දේශපාන කඳවුරක් ගොඩනැඟිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ සඳහා දේශපාලන පෙරමුණක් ගොඩනගනවා.

මේ බල සූදුව අවසන් කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව නිවැරදිව දේශපාලනය තේරුම් ගත යුතුව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සිට වෙන්දේසියට ඇවිල්ලා තියෙනවා. සති පොළවල්වල කුණු එළවළු විකිණෙන විදිහට, මාළු ලෑලිවල කුණු මාළු විකිණෙන විදිහට මන්ත්‍රීවරුන් වෙන්දේසියට දාලා තියෙනවා. වෙන්දේසි වන මන්ත්‍රීවරුන් අද සිට ඔබට බලාගන්න පුළුවන්. ඔවුන්ට තව දුරටත් ඔබේ දරුවාගේ අනාගතය හෝ රටේ අනාගතය බාරදිය යුතු නැහැ.

මේ දේශපාලන සිදුවීමෙන් ජතාවට ඕනෑවටත් වඩා පාඩම් කියලා දීලා තියෙනවා. මේ සිදුවීම් අධ්‍යයනය කර පාඩම් ඉගෙන ගැනීම හරියට කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බල සූදුව ඉවර කළා නම් ජනාධිපතිවරයා වහාම කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව කැඳවීමයි.

බහුතරයේ කැමැත්ත අනුව අග්‍රාමාත්‍යවරයා තීරණය වන්නේ පාර්ලිමේන්තුවෙන්. කුමන්ත්‍රණයක් කරලා පාර්ලිමේන්තුව කල් දාලා චීනේ යන්නත් ලැහැස්තියි කියලා ආරංචියක් තියෙනවා.

අවිහිසංසාවාදී, විධායක බලය ක්‍රියාත්මක  නොකරන, ජනාධිපතිධුරයේ අන්තිමට වාඩිවෙන කෙනා බව ආදිය කියමින් ආවේ. ඒ ප්‍රකාශයන්ට මුළුමනින්ම පිටුපා කටයුතු කරනවා. වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. දේශපාලන අර්බුදයක් වන වෙලාවකදී පාර්ලිමේන්තුව කැඳවීම ජනතාවගේ නියෝජිතයන්ගේ අයිතියක්.

මෛත්‍රීපාල සිරිසේනගේ කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව කල් තියලා තියෙන්නේ. ව්‍යවස්ථාවට අනුව දින තුනකට පෙර දැනුම් දීමකින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් තැබීම අවසන් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව කල් තැබීමට අපේ විරෝධය පළ කරනවා. නිර්ජල්ජිතව පාර්ලිමේන්තුව කල් තැබීමට එරෙහිව ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩනැගිය හැකි පුළුල්ම මධ්‍යස්ථානය කෙරෙහි අවධානය යොමු කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

---------------------------------------------------------------------
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
බල පොරය වෙනුවෙන් කරන බලු පොරයේ කොටස්කරුවන් බවට ජනතා විමුක්ති පෙරමුණ කිසි සේත්ම පත් වෙන්නේ නැහැ. කිසිවෙකුට අපේ සහාය ලබා දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන වෙලාවකදී අපේ ස්ථාවරයේ අපි ඉන්නවා. ඊට පස්සේ සිදුවන ඕනෑම දේකට මුහුණ දෙන්න අපි ලැහැස්තියි. අසම්භාව්‍ය ක්‍රියාවලට අපේ දේශපාලනයේ උත්තර නැහැ.

මේ ව්‍යවස්ථාව හැදුවෙත් ඔය පාලකයාම තමයි. ඒක රකින්න ඕනෑ වෙන්නෙත් ඔය පාලකයොමයි. ඒ වගේම හැම පාලකයාම ව්‍යවස්ථාව රකින බවට දිව්රුම් දී තිබෙනවා. හැබැයි අපි ඉතිහාසය පුරාවටම දැක්කේ තමන්ගේ බල උවමනාව ඉස්සරහට එන වෙලාවට කිසි සේත්ම ව්‍යවස්ථාව නොරකින බවයි.

ශිරාණි බණ්ඩාරනායක නෙරපා හැරීමේදී ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාව කිසි සේත්ම පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. එදා ඒ නෙරපා හැරීම කරන්නේ ව්‍යවස්ථාවට පැටහැනිව. 2015 රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කරවනකොට පාර්ලිම්න්තුවේ බහුතරය තිබෙනවා යැයි ජනාධිපතිවරයාට හැඟෙන කෙනාට අග්‍රාමාත්‍ය ධුරය දිය යුතුව තිබුණා. නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 42ක් තිබුණ රනිල් වික්‍රමසිංහ පත් කරනකොට එදා ව්‍යවස්ථාව රැක්කෙත් නැහැ. ඒ වගේම අද ව්‍යවස්ථාව රැකලත් නැහැ.

මෙම සිදුවීමෙදීත් මෙම පාලකයා නීතිය හෝ ව්‍යවස්ථාව රැකලා නැහැ. ඔවුන් එය රකීවි යැයි අපි කිසි සේත්ම අපේක්‍ෂා කරන්නෙත් නැහැ. හැම වෙලාවේම ව්‍යවස්ථාවත් නීතියත් උපයෝගී කරගෙන තිබෙන්නේ පහළ පංතියේ මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. පාලකයෝ හැමදාමත් නීතිය හා ව්‍යවස්ථාව කැඩුවා. 26වැනිදා කළෙත් ඒකමයි.

පසුගිය ජනාධිපතිවරණයේදී අපි කිසිවෙකුට සහාය දුන්නේ නැහැ. හැබැයි අපි ඉතා නිශ්චිතව සඳහන් කළේ රාජපක්‍ෂ පාලනය පළවා හැරිය යුතුයි. ගොඩනැගෙන පාලනය ගැන අපි සහතික ලබාදෙන්නේ නැහැ කියලා. හැබැයි ගොඩනැගෙන පාලනයකින් අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතුයි කියන දේ අපි කිව්වා. 2015 ජනවාරි මාසයේ අපි ඉතා නිශ්චිතව කියපු සටන් පාඨය අද වඩාත් හොඳින් තහවුරු වී තිබෙනවා. අගෝස්තු මාසයේ පැවැත්වූ මහ මැතිවරණයේදීත් අපි ස්වාධීනව තරඟ කර අපේ මතය ඉතා නිශ්චිතව ප්‍රකාශ කර තිබෙනවා.

ව්‍යවස්ථාව අනුව ගත්තොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවුරුදු හතර හමාරක් සම්පූර්ණ විය යුතු බව නිශ්චිතව සඳහන් වෙනවා. ඊට පෙර විසුරුවා හරිනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් අවශ්‍යයි.
පවතින අර්බුදය විසින් මෙවැනි පාලනයක් නිර්මාණය කළ බවට ජනප්‍රිය තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි පාලනයක් නිර්මාණය කරන්න ඕනෑ අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරීමටයි.


ඔබ විශ්වාස කරනවාද මේ පාලනය අර්බුදයට විසඳුමක් කියලා.? එහෙම නම් ජනවාරි 08 වැනිදා මේක පරාජයට පත් කළේ ඇයි? මෛත්‍රීපාල සිරිසේන එළියට ආවේ ඇයි? මේක අර්බුදයට විසඳුමක් නොවන බව ඕනෑවටත් වඩා ඔප්පු කර තිබෙනවා. ඔබ අපෙන් අහනවා, වෙන පාරක් නොකිව්වේ ඇයි කියලා?

අපි දිගටම තහවුරු කර තිබෙනවා, මේ පාලකයන් තිදෙනාම දේශපාලනික වශයෙන් බංකොළොත් බව. ඒ තිදෙනාටම මේ රට ගොඩනැගීමේ දැක්මක් හෝ අරමුණක් නොමැති බවත් තහවුරු කර තිබෙනවා. අපි ජනතාවට ආරාධනා කළේ අවුරුදු 70ක් මේ ගමන් කර තිබෙන  දේශපාලනයේ ගමන්මග වෙනස් කොට නව ආර්ථික, සමාජයීය පරිවර්තනයක් වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භූමිකාව ඒක. මේ රටේ ජනතාවට ඒ ආයාචනය ඕනෑවටත් වැඩියෙන් අපි කරමින් ඉන්නවා.

එළඹෙණ ජාතික මැතිවරණයකදී ප්‍රබල ජනතා පෙරමුණක් ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අපි දියත් කොට තිබෙනවා. ජාතික විද්වත් සංවිධානය විසින් මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් ඉන්නවා. ඒ වගේම ඒ සඳහා ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගමින් ඉන්නවා.

ක්‍ෂණික නූඞ්ල්ස් වගේ පිළිතුරු නැති බව අපිත් පිළිගන්නවා. පුළුල් දේශපාලන සමාජයීය, ආර්ථික පරිවර්තනයක් ඕනෑ. අන්න ඒ පුළුල්ම පරිවර්තනය වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා රටේ ජනතාවට අපි ආරාධනා කර තිබෙනවා. ඒ හැර ඉත්තෝ මාරු කිරීමෙන් පලක් නැහැ. දුෂ්කර වුණත් ඈත වුණත් අමාරු වුණත් තිබෙන එකම විකල්ප ක්‍රියාමාර්ගය පුළුල් ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගා එය බලයට පත් කිරීමයි. අපි පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්.



අදහස් (16)

මේක කළු දශකයේම දිගුවක්

Keppetipola Saturday, 27 October 2018 02:50 PM

ඔබලා තරම් මිනිස්සු වෙන කොහේවත් නැහැ. මේ සේරටම වග කියන්න ඕනෑ ඔබලා.. රටේ තරුණ පරපුර විනාශ කරන නුබලා වගේ පාහරයින්ව රටෙන් නෙරපා දැමිය යුතුයි...

:       4796       4385

ධනුෂ්කSunday, 28 October 2018 02:37 AM

ඔබ කියන්නේ මේ රටේ තරුණයන්ට හොඳ නරක කියන දේ තේරුම් ගන්න මොලේ නෑ. කියලද? ජ.වි.පේ තරුණයෝ විනාශ කරනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ එ්කනේ . රටේ තරුණයින්ට හොඳට මොලේ තියනවා. ඔබ රට විනාශ කරන එක ගැන හිටපු හා ඉන්න ඔබගේ නායකයන්ට කියන්න අවුරුදු 70ක් රට පාලනය කලේ ඔවුන්. තරුණ ජීවිත, කාන්තා ජීවිත පිටරටවල බැලමෙහෙවරට යැව්වේ ඔබේ පාලකයන්. 71,88,89 තරුණයන් අවි අතට ගැනීමට මග සැකසුවේ ඔබේ පාලකයන්. යහපත් රටක් තිබුණනම් ඔවුන් විහිළුවට අවි ගන්නේ නෑ. අවි ගන්න කාටවත් පොළබවන්නත් බෑ. එ්කට අදාල පසු බිම තිබු නිසයි මැරෙන්න බලාගන අවි ගත්තේ. කොටි බෙදුම්වාදී අරගලය ප්‍රසාරනය කලේ කව්ද? මෑත ඉතිහාසය කියවලා බුද්ධියට තට්ටු කරලා බලන්න

:       1       317

Thilina Saturday, 27 October 2018 02:54 PM

88-89 කාලේ කරපු වැඩ අමතක කරලා ඇති. ඒවා බොහොම පොඩි දේවල් .

:       2801       2684

Hafeel Saturday, 27 October 2018 10:34 PM

88 / 89 ගෙන දැන් කතා කරළ වැඩක් නැහේ. 88 / 89 යුගයේදී වත්මන් අනුර දිසානායකලා නොවේ නායකත්වය දරුවෙ. තවද 88/ 89 වඩා, මේ මෛත්‍රී, මහින්ද, රනිල් රටේ සම්පත් ඉතා තුට්ටුවට විකුණමින්, කොමිස් ගහමින් රටේ ආර්ථිකයට ඉතා බරපතල හානි සිදු කරමින් ඉන්නවා. 88/ 89 යුගය දැන් ඉවරයි. මේ හොරුන් තාම රටේ සම්පත් තුට්ටුවට විකුණනවා, හොරකම් කරනවා, මිනි මරනවා, උස්සනවා.

:       0       130

ධනුෂ්කSunday, 28 October 2018 02:56 AM

88,89 වුවමනා නෑ.මේ විදියට තව අවුරුදු 10ක් ගියොත් නැවත එහෙම දෙයක් වෙන්න ඉඩ තියනවා. මිනිස්සුන් අතර දෙන දෙයක් කාලා වෙන දෙයක් දිහා බලාගෙන ඉන්න නිවටයො ඉන්නේ කිහිප දෙනයි. ලෝක ඉතිහාසය,පරණ තෙස්තමේතතනතුව කියවලා බැලුවොත් තේරයි ඉතිහාසය යනු කැරලි කෝලහාල, විප්ලව, කුමන්ත්‍රණ පිළිබඳව ඉතිහාසයක් බව. මූලික හේතුව තමා මිනිසා අසහනයට,අසාධාරනයට,දුකට,බඩ ගින්නට පත්වීම. ඉවසීම සීමා සහිතයි බලාපොරොත්තු හා අපේක්ෂා බිඳ වැටුනු පසු මැරෙන්න හරි ඉදිරියට එනවා. එ්ක මිනිස් ස්වභාවය 88,89 යේ වුනෙත් එහෙම දෙයක්. ප්‍රංශ මාලිගය වටලලා මිනිස්සු කන්න පාන් නෑ කියද්දි. මාරි අැන්ටිනියො බිසව කිව්වා පාන් නැත්තන් කේක් කාපල්ලා කියලා පස්සේ මිනිස්සු කරපු දේ ටිකක් හොයලා බලන්න

:       1       104

Lalith Saturday, 27 October 2018 03:55 PM

මුන් නම් කොහේද නැති ගන්ධබ්බයෝ රැලක්...

:       0       0

කෝලිත Saturday, 27 October 2018 03:56 PM

ඉඳුල් කාලත් හමාරයි... දැන් කාගෙ කොලයක් බලාගෙනද කියවන්නේ...? හොඳටම බය වෙලා හාමුටත් වඩා... ඉතිං ඔයාම තමයිනෙ අපිටත් කිව්වේ? හාමු අළුතෙන් ගත්ත මර්සිඩීස් දෙක ගැනත්.. අනික් අයට ඉරිසියා හිතුණා..

:       0       0

ase Saturday, 27 October 2018 04:06 PM

සෙවල කතා නැතිව හරි අදහස කියන්න...

:       0       0

Soorya Saturday, 27 October 2018 04:08 PM

නියම කතාව. ඔය අය හැමදාම කළේ මිනිසුන්ව අන්දලා බඩ ලොකු කරගන්න විතරයි. මිනිස්සු හැමදාම බඩවල් දිහා බලන් රැවටි රැවටී පතුරු වගේ වෙලෙනවා.

:       0       0

magala Saturday, 27 October 2018 11:36 PM

බලතණ්හාව

:       0       0

RNG Sunday, 28 October 2018 01:04 AM

දැන් මෙයාලා කියන්නේ මේ අය සුදනෝ කියලද..? රට මේ වගේ අගාධයට වැටෙන්න මේ අයත් හවුල් වුනානේ..

:       48       0

anura Sunday, 28 October 2018 01:18 AM

88 යුගයේ කලාකරුවන් දේශපාලකයන් ඝාතනය කරපු හැටි අපට මතකයි. ඔබ කරපු වැරද්දක් අහුවුණාම කියන්නේ අපි ඒ වැරද්ද දැන් හදාගෙන තියෙන්නේ කියලා. ඔය කතාව ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. එහෙම කිව්වට එම වැරද්දෙන් වුණුහානිය පූරණය වෙන්නේ නැහැ. රට තවත් අගාධයකට ඇදදාන්නේ නැතිව දේශපාලනයෙන් ඉවත්වෙලා යන්න.

:       125       16

ලසන්ත Sunday, 28 October 2018 02:47 AM

සියයට සියයක් නිවැරදියි. රනිල් සැමදාම ආර්ථිකය කඩාවැටුණම හදනවානේ.මෛත්‍රී කාලෙත් චන්ද්‍රකා වගේ ආර්ථිකය යහපත්වීගෙන එනවිට කඩා ගැනීමක් නේද?

:       213       34

Nuwan Sunday, 28 October 2018 07:36 AM

රට විනාශ කරපු කාලේ මතක නැතුව වගේ. ලංකාව සිංගප්පුරුවක් නොවුණු එකට ඒ කාලේ ඔහෙලා කරපු විනාශේ කෙලින්ම බලපෙවා. දැන් එනව සුදනෝ වෙන්න.

:       200       82

ධම්ම Sunday, 28 October 2018 07:54 AM

අප ඔය පරිවර්තනය හා මධ්‍යස්ථානය ගැන 1971 පමණ සිට කතාකරනවා. දැන්වත් මහජනතාවගේ ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තු බලය ලබාගන්න හිතන්න. එහෙම නොවුනොත් මේ ක්‍රමයම තමයි හැමදාම මේ රටේ පවතින්නේ.

:       0       1

NASRUDIN Sunday, 28 October 2018 09:04 AM

දැනට පාර්ලිමේන්තුවේ අඥානයින් අතරේ සිටින විශිෂ්ඨ තම බුද්ධිමතා වූද, සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාවිතයේදී අසන්නන් මවිතයෙන් මවිතයට පත්කරවන චතුරයෙක් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිලිබඳ කෙළ පැමිණියාවුද, රාජ්‍ය පරිපාලනය, මූල්‍ය පාලනයෙහිද, ප්‍රමාණික මතු නොව ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ස්පර්ශ කර ඇත්තාවූද, දූෂණයෙන්, වංචාවෙන්, ලෝභයෙන්, බොරුවෙන් හා චෞර බවින් වියුක්ත, ශ්වේතවර්ණයෙන් සමලංකෘතවූ හස්තයෙන් හා මනසකින් යුක්ත වූ යුගයේ ප්‍රජාතන්ත්‍රවාදී මහා දේශපාලන විදග්ධයාණෙනි, විභුධයාණෙනි, මීළඟ මහා මැතිවරණයෙන් කිසිවෙකුත් නොලද අති විශිෂ්ඨ විජයග්‍රහණයක් ලබා මේ මාතෘභූමියේ සුජාත වූ ලාබාලම අග්‍රාමාත්‍යතුමා වීමට හේතු වාසනා වේවා!!!

:       0       75

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 530 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1008 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1198 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 672 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 659 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 224 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site