කොලොම්බියාවේ බන්ධනාගාරයක හටගත් නොසන්සුන්තාවකින් රැඳවියෝ විසිතුන් දෙනෙක් මරණයට පත්ව තවත් අසූතුන් දෙනෙක් තුවාල ලැබූහ.

ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය හේතුවෙන් ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් කොලොම්බියාව පුරා බන්ධනාගාරවල උද්ඝෝෂණ පැවැත්වුණි.

සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීම හා බන්ධනාගාරවල තදබදය අවම කිරීම එම ඉල්ලීම් අතර විය.

ඒ අතර ලා මොඩෙලෝ බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවලදී මෙසේ රැඳවියන් මරණයට පත්වී තුවාල ලැබීම ද සිදුවිය.

එරට අධිකරණ අමාත්‍ය මාගරිටා කැබෙලෝ මහත්මිය පැවසුවේ රැඳවියන් තිස් දෙදෙනෙකු සහ ආරක්ෂකයින් හත්දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

ඉන් ආරක්ෂකයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද ඇය සඳහන් කළාය.

රට පුරා බන්ධනාගාර 13 කින් වාර්තා වූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් සැලසුම් සහගතව සම්බන්ධීකරණය කර ඇතැයි ඇය පැවසුවාය.

මෙම කැරලි ඇතිවීමට බලපෑ බව පැවසෙන කිසිදු සනීපාරක්ෂක ගැටලුවක් බන්ධනාගාර තුළ නැතැයි ඇය අවධාරණය කළාය.

කොලොම්බියාව පුරා ඇති බන්ධනාගාර 132 ක රඳවා තැබිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 81000 ක් වුවත් මේ වන විට රැඳවියන් 121000 කට අධික සංඛ්‍යාවක් ඒවායේ රඳවා සිටින බව අධිකරණ අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන මගින් හෙළිදරව් වෙයි.

කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ දෙකක් ඇතුළුව මේ වන විට රෝගීන් 231 ක් කොලොම්බියාවෙන් වාර්තා වෙයි. 
 

(බීබීසී ඇසුරෙනි)

 
-226-