( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා විසින් තම මාසික වැටුප් අත්හිටුවා ඇතැයි චෝදනා කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයෝ දෙදෙනෙක් අද (2) දහවල් සිට රෝහලේ ඉදිරිපස වහලය මතට නැඟ විරෝධතාවයක නිරත වූහ .
කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකු වන සුළු සේවක කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු ඊ.ඒ.සෝමරත්න සහ එන්.ඊ.දිසානායක දෙදෙනා මෙසේ විරෝධතාවයක යෙදී සිටිති.
ඔවුන්ට සහාය පළ කරමින් තවත් සුළු සේවකයෙකු එම විරෝධතාවයට එක්වූ අතර රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක්ද මෙම විරෝධතාවයට සහාය දක්වමින් රැඳී සිටියහ .
මෙම විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සරත් කුමාර මහතා පැවසුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී ඇති ස්ථාන මාරුව පිළිනොගෙන රෝහලේ රැඳී සිටීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට පලිගැනීමක් ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මේ දෙදෙනාගේ වැටුප් අත්හිටුවා ඇති බවය .
මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා ආර්ථික අතින් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවද මේ ආකාරයට රෝහල් අධ්‍යක්ෂවරයා තව දුරටත් කටයුතු කළඅහොත් ඉදිරියට කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තම සංගමය තීරණය කර ඇති බවද සරත් කුමාර මහතා පැවසීය .
එසේම කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා මේවනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අතර ඒ අනුව ඔහුගේ නියෝග පිළිපැදීමට රෝහල් කාර්ය මණ්ඩලය බැඳී නැති බවත් ඒ අනුව කටයුතු කිරීමට යාම හේතුවෙන් මේ දෙදෙනාගේ වැටුප් අත්හිටුවා ඇති බවය .
මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඊයේ දිනයේ රෝහලේ නොසිටි බැවින් එ් පිළිබඳව කරුණු පැහැදිලි කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය යටතේ ඔවුන් දෙදෙනාට ලබාදී ඇති අභ්‍යන්තර ස්ථාන මාරුවක් පිළිනොගෙන සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අධ්‍යක්ෂවරයා විසින් ඔවුන් දෙදෙනාගේ වැටුප් අත්හිටුවා ඇති බවය.


COMMENTS
එතුමා පහුගිය ජනාධිපතිවරණයට කලින් කොච්චර සේවයක් කළාද? ජනාධිපතිවරණය වෙනුවෙන් එතුමා කරපු සේවය අගයලා එතුමාට සමරු තිළිණයක් ලැබුණා වගේ මතකයි. ඒ වගේ උත්තමයෙක් පඩි කැපුවම රට ගැන හිතලා වේලක් දෙකක් නොකා ඉන්න බැරිද මේ කට්ටියට?
රෝහල් අධ්‍යක්ෂගේ මාරුව අවලංගුකලේ මැතිවරණ කාලයක් නිසා කියලා පසුගිය කාලයේ දැනගන්නට ලැබුණා. මෙම වෘත්තීය මෙම කණ්ඩායමේ වෘත්තීය සමිතියක් කිව්වාට එය දේශපාලන පක්ෂයක අතකොළුවක් කියා සමිතියේ නමින්ම තේරෙනවා. මෙයට පක්ෂ නායකයා වගකිව යුතුයි...
අප අපටවත් අවංකද යන්න ගැටලුව අප සැමටම පැන නොනැගෙන්නේ මන්ද? අප කිසිවෙකුට ඒ ඒ අයගේ තනතුරු පිළිබඳව නිග්‍රහ කරනවා නොවේ. නමුත් මහජන මුදලින් වැටුප් ලබන සුළු සේවකද? මහ සේවකද? ලොකු සේවකද? යන්න අදාල නොමැත. කිසිවෙකුට" තම අභිමතය" පරිදි (ඔහුගේ බලතල ප්‍රකාරව කිසිදු හේතුවක් නොමැතිව) තවත් සහෝදර (පොඩි හෝ ලොකු ) සේවකයකුගේ වැටුප් නතරකල හැකිද? කිසිඳු හේතුවක් නොමැතිව එසේ කළ හැකි නම් ආයතන සංග්‍රහයක් යන්න කුමකට නිර්මාණයවී ඇද්ද? අප විශ්වාස කරනවා අප රටේ තරම් පුද්ගලික මතිමතාන්තර හා රාජකාරිය එකිනෙක පටලවාගත් නිලධාරීන්.., සේවකයන් වෙනත් කිසිඳු රටක නොමැති බවට ... අප නැවතත් සඳහන් කරන්නේ ආයතන ප්‍රධානියකුට හෝ වෙනත් බලතල තිබෙන ප්‍රධානියකුට තම අභිමතය පරිදි, හිතුමතේට රාජකාරීමය තීන්දු තීරණ ගැනීමට නොහැකි බවට...
දොස්තර ශාෆිට විරුද්ධව නැති දෙයක් ඇති කළ ලොක්කා සහ ගෝලයින් කට්ටිය නේද? අනේ බලන්නකෝ දෛවය විසින් වෙන දේවල්. අන්තිමට අර රත්න හාමුදුරුවොත් මාරු වුණා.