IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සන්ධානය කඩිනම් කරන්න මෛත්‍රී-මහින්ද හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන්නට යන බවට ආරංචි පැතිර ගියේ මීට මාස කීපයක සිටය. ඒ සඳහා දෙපාර්ශ්වයේම විවිධ හමුවීම් සාකච්ඡා ද වරින් වර පැවැත්විණි. ඉකුත් සතියේ සිකුරාද‌ා හැන්දෑවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණේ අලුතින් හදන්නට යන සන්ධානයේ කටයුතු කඩිනම් කිරීමේ බලාපොරොත්තුවෙනි. සාකච්ඡාව රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් එය විනාඩි 15 කින් පමණ ප්‍රමාද කරන්නට සිදුවූයේ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමට පැමිණ සිටි බැවිනි. ඔහු දිවුරුම් දී පිටව ගිය පසුව සාකච්ඡාව රාත්‍රී 7.15 ට පමණ ආරම්භ විය.
එම සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, එස්.බී. දිසානායක, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, අතාවුල්ලා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියද‌ාස, ඩග්ලස් දේවානන්ද, තිලංග සුමතිපාල, මුත්තු සිවලිංගම් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් දෙපළටද සාකච්ඡාවට ඇරියුම් කර තිබුණ ද ඔවුන් දෙදෙනා පැමිණ සිටියේ නැත.


මුලින්ම සාකච්ඡාවට ගැනුණේ නව සන්ධානය ගොඩනැගීමේ ක්‍රියාද‌ාමයේ ප්‍රගතිය පිළිබඳවය. අලුත් සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පතේ තත්ත්වය කෙසේ දැයි ජනාධිපතිවරයා විමසා සිටියේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගෙනි. ‘සර් අපි හදපු කෙටුම්පතක් තියෙනවා. මේකෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් නැහැ. මම මහින්ද ජනාධිපතිතුමත් එක්ක ඉන්දියාවේ ගිහින් ආවට පස්සෙ කමිටුව කැඳවලා සාකච්ඡා කරන්න සූද‌ානමින් හිටියත්, දයාසිරි ලෙඩ වුණා. දයාසිරිට සනීප වුණාම කමිටුව කැඳවලා සාකච්ඡා කරන්නම්.’ ඩලස් පිළිතුරු දෙමින් කීවේය.


මෙම සාකච්ඡාවලදී පක්ෂ දෙක අතර කැඳවුම්කරු සහ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ උදය ගම්මන්පිලය. උදය ද එ් ගැන අදහසක් පළකළේය. ‘ව්‍යවස්ථාවට වැඩිය වැදගත් අපි සියලු දෙනා අතර පොදු ප්‍රතිපත්තියක් සකස්කර ගන්න එකයි. ඒ නිසා අපි පොදු ප්‍රතිපත්තිය හදන්න කමිටුවක් පත් කරමු.’ උදය යෝජනා කළේ විග්‍රහයක්ද කරමිනි.
මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා ද ඒ ගැන අදහස් පළ කළේය. ඔහු කීවේ මේ වැඩේත් ව්‍යවස්ථා කමිටුවටම පවරමු කියාය.


ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ උද්​ඝෝෂණ ව්‍යාපාර හා රැස්වීම් පැවැත්වීම ගැන ද සාකච්ඡා විය. ඒ සඳහා උද්ඝෝෂණ කමිටුවක්ද පත් කරනු ලැබුවේ පක්ෂ දෙකේ හා විපක්ෂයේ තවත් පක්ෂ කීපයක් නියෝජනය වන පරිද්දෙනි. උද්ඝෝෂණ කමිටුවේ කැඳවුම්කරු එස්.බී.ය. වාසුදේව, විමල් වීරවංශ, මහින්ද‌ානන්ද, රෝහිත අබේගුණවර්ධන සෙසු සාමාජිකයෝය. අපි ආණ්ඩුවට විරුද්ධව එකතුවෙලා එකට උද්ඝෝෂණය කරල විතරක් මදි. අපි ඉස්සරහට එක්ව රැස්වීම් පවත්වන්නත් ඕන. ජනාධිපතිතුමාත්, හිටපු ජනාධිපතිතුමාත් ඒවට එන්න ඕන.’ වාසුදේව කීවේය. වාසුදේවගේ කතාවට උත්තර දුන්නේ මහින්දය. ‘මමයි ජනාධිපතිතුමායි එකට වේදිකාවේ ඉන්න එක අවද‌ානම්. ඒ නිසා මම යන ඒවට ජනාධිපතිතුමා යන්නේ නැතිව පක්ෂයෙන් වෙන කෙනෙක් එවන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිතුමා යන රැස්වීම්වලට අපෙනුත් නියෝජිතයෙක් යවන්න පුළුවන්.’ මහින්ද කීවේය. ‘ඇත්තටම ප්‍රශ්න විසඳ‌ා ගන්න තියෙන්නේ සහෝදර පක්ෂ සමග නෙවෙයි. ප්‍රධාන පක්ෂ දෙක අතරයි. එද‌ා ශ්‍රීලනිපය ජේවීපී එකත් එක්ක සන්ධාන හදද්දි මූලිකව සාකච්ඡා කරලා එකඟතාවලට ආවේ ජේවීපී එකත් එක්කයි. පස්සෙයි සන්ධානය හදන්න අනිත් අය එක්ක කතා කළේ. ඒ නිසා මුලින්ම ශ්‍රීලනිපයයි පොහොට්ටුවයි එකතු කරලා පසුව අනිත් අය එකතු කරමු’ ඩලස් යෝජනා කළේය.


‘පක්ෂ සියල්ල පොදුවේ දැනට කරගෙන යන සාකච්ඡාව දිගටම කරගෙන යමු දැනට සාකච්ඡා යන අතරේ ප්‍රධාන පක්ෂ දෙක හමුවෙලා ගැටලු විසඳන්න පුළුවන්’ යැයි යෝජනා කළේ වාසුදේව නානායක්කාරයි. ප්‍රධාන පක්ෂ දෙක අතර සාකච්ඡා කරගෙන යද්දී මතුවන ගැටලු සාකච්ඡා කර විසඳුම් සෙවීමට දෙපාර්ශ්වයේම නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් කමිටුවක් ද පත් කෙරිණි. ශ්‍රීලනිපයෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ රෝහණ ලක්ෂ්මන් පියද‌ාස යන මහත්වරුන් පත්කෙරිණි. ‘අපේ පැත්තෙන් කවුද කියලා අපි බැසිල් ඇමැතිතුමායි, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිතුමයි එක්ක සාකච්ඡා කරල දැනුම් දෙන්නම්.’ යැයි ඩලස් කීවේය. සාකච්ඡා වටය රාත්‍රී 9.00 ට පමණ හමාර වූයේ නැවත කඩිනමින් හමුවී සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙනි.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය අඟහරුවාද‌ා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කලින් සතියේ කැබිනට් රැස්වීම නොතිබුණ බැවින් මෙවර පැවැත්වූවේ සති දෙකකට පසුවය. සත්‍ය හා සංහිඳියා කොමිසමක් පත් කිරීමට අගමැතිවරයා විසින් සිට සති දෙකකට ඉහත දී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය එදින සතියකින් කල් දැමුවේ ආරක්ෂක අමාත්‍යාංශය නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට කල් ලබා ගැනීම හේතුවෙනි. ගිය අඟහරුවාදා ආරක්ෂක අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් නොවූ බැවින් එය සතියකින් පමණ නැවත කල් දමන්නට සිදුවිය ඒ අතර සත්‍ය හා සංහිඳියා කොමිසමක් පත් කිරීමට අදාළ යෝජනාව ගැන චම්පික රණවක ද සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කර තිබිණි. ඔහු එමගින් කියා තිබුණේ යුද්ධයට සම්බන්ධවූ දෙපාර්ශ්වයටම සමාව දිය යුතු බවය. මෙය දිගින් දිගටම පෑරීමෙන් සිදුවන්නේ ප්‍රශ්නය තවදුරටත් රැගෙන යාම බැවින් අත්අඩංගුවවේ සිටින දෙපාර්ශ්වයේම අය නිදහස් කර සමාව දිය යුතු බව ඔහු කියා තිබිණි. කොමිසන් සභා පත්කිරීම වෙනුවට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට ද ඔහු යෝජනා කර තිබිණි. මීට පෙරද කොමිසන් හත අටක් මේ සම්බන්ධයෙන් පත්කර ඇතත් ප්‍රශ්නය එතැනම බැවින් අතුරුදන් වූවන් සඳහා සහතිකයක් නිකුත් කිරීම, උතුරේ ඉඩම් අයිතිය නිරවුල් කිරීම, දෙපාර්ශ්වයේම අයට සමාව දීම වැනි ප්‍රයෝගික ක්‍රියාමාර්ග අවශ්‍ය බව ඔහු කියා තිබිණි.
කෙරවලපිටියේ එල්එන්ජී බලාගාර ටෙන්ඩරය චීන සමාගමට දීමේ ප්‍රශ්නය මෙවර කැබිනට් රැස්වීමේ දී ද ඇදිණි. චම්පික ඊට ද විරෝධය පළකළේ අඩු මිල ගණන් ඉදිරිපත් කළ දේශීය සමාගමට නොදී වැඩි මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගමට ටෙන්ඩරය දී ඇති බව කියමිණි. රවි කරුණානායක ඇමැතිවරයා චම්පිකගේ අදහසට විරුද්ධව අදහස් දැක්විය. අවසානයේ මේ ගැන සෙවීමට රවි කරුණානායක, චම්පික රණවක, මලික් සමරවික්‍රම, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් පත්කරන්නට තීරණය විය.


මේ අතර කතාබහට ලක් වූ ඊළඟ කාරණය වූයේ එෆ්සීඅයිඩිය හෙවත් මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා පිළිබඳවය. ඔහුට සේවා දිගුවක් ලබාදීමේ යෝජනාවක් මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබිණි. රවි වෛද්‍යාලංකාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා දැඩි විවේචනයක් ද එල්ල වූ අතර ඔහුට සේවා දිගුවක් අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව, කලින් ඉදිරිපත් කර තිබූ කැබිනට් සංදේශය ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබීය.


ජනපති ​මෛත්‍රීගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති ග්‍රාම ශක්ති ව්‍යාපාරය වෙනුවෙන් ග්‍රාම ශක්ති නමින් නව ලොතරැයියක් හඳුන්වා දෙනු ලැබීය. එහි පළමු ටිකට්පත් කීපය ජනාධිපති මිලදී ගනු ලැබුවේ ලොතරැයිය හඳුන්වා දීමේ අවස්ථාවේදීය. ජනපති මිලදී ගත් ලොතරැයි කීපය නිවසට ආ හිතවතුන්ට නොමිලේ බෙදා දුන්නේ ‘වාසනාව සූරා බලන්නැයි’ කියමිනි. ආණ්ඩුකාර අසාද් සාලිට ද මෛත්‍රී මෙයින් ලොතරැයියක් දුන්නේ වාසනාව උරගා බලන ලෙස කියමිනි. ලොතරැයිය සූරා බැලූ අසාද් සාලි එක්වරම සතුටින් සිනාසෙමින් කියන්නට වූයේ තමන්ට ලක්ෂ 4ක දිනුමක් ඇති බවය.  



අදහස් (0)

සන්ධානය කඩිනම් කරන්න මෛත්‍රී-මහින්ද හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site