අල්ලස් කොමිසම, එෆ්. සී. අයි. ඩී. හෝ සී. අයි. ඩී. හෝ වැනි ආයතනවලින් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස විපක්ෂයේ දේශපාලකයන්ට දැනුම් දුන් විට ඒ ආයතනවල ඉහළ නිලධාරීන් තම නි​ෙවසට කැඳවා පිළිතුරු දීමේ සම්ප්‍රදාය මෑතකදී ඇතිවිය.   
පසුගිය රජය සමයේ අල්ලස් කොමිසමට එන්න කී විට නයෙකු කෑ බව පවසා රෝහල් ගතවූ අතීතයක්ද පැවතිණ.   


එවැනි පසුබිමක අගමැති රනිල් සඳුදා බැඳුම්කර කොමිසමට ගියේ ස්වෙච්ඡාවෙනි. ඊට අදාළව එජාපය තුළ පැවැති සාකච්ඡාවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අපූරු අදහසක් මතුකළේය.   



“කොමිසමට ඔබතුමා යන්නේ ස්වෙච්ඡාවෙන් බව ඉස්මතු කිරීම අවශ්‍යයි.” කිරිඇල්ල කීය.   


ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදීද ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එයමය.   


“අගමැතිතුමා ස්වෙච්ඡාවෙන් කොමිසමට යන්නේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමාට හෝ එජාපයට හෝ හංගන්න දෙයක් නැහැ.” කිරිඇල්ල ජනාධිපතිවරයාටද කීවේය.   


මීට පෙර බැඳුම්කර කොමිසමට අගමැතිවරයා දැන්වූයේ තමාට කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය බවය. ඒ මත ඔවුන් එවා තිබූ කරුණු 16කට ඔහු මීට පෙර ලිඛිත පිළිතුරු යවා තිබිණ.   


අනතුරුව කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ එකී පැහැදිලි කිරීම්වලට අදාළව තව දුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය බවය.   
“මට අවශ්‍ය දේ කොමිසම කර තිබෙනවා. දෙවැනි වරටත් ලිඛිත කරුණු දැක්වීම වැඩක් නැහැ. මා ගිහිල්ලම පැහැදිලි කිරීම් කරනවා. එතකොට එයාලට හරස් ප්‍රශ්න අහන්නත් ලැබෙනවනේ? අගමැතිවරයා හිතවතුන්ට කියා තිබිණ.   


අනතුරුව පැවැති එජාප සාකච්ඡාවකදී අගමැතිවරයා තම ස්ථාවරය පක්ෂ ප්‍රබලයන්ට කී විට ඔවුහු ඊට එරෙහි වූහ.   


“ඔබතුමාට කොමිසමට එන්න කියා තිබෙන්නේ ඉන්දියානු නිල සංචාරයට කලින් දිනයේයි. අනික එදා අය-වැය ඡන්දයත් තිබෙනවා. පසුව එන බව දන්වන්න” රජයේ උපදේශකයන් හා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කීවේ එවැන්නකි.   


ඔවුන්ගේ අදහස් විනාඩි 20 ක් අසා සිටි අගමැතිවරයා “නැහැ, එයාලා එන්න කියපු දිනේට මා යනවා” යයි කීවේ පිරිස අන්දමන්ද කරවමිනි.   


ඒ තීන්දුවෙන් පසු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු ඇමැතිවරු පිරිස මෙහෙයුම ආරම්භ කළහ. එජාප මැති-ඇමැතිවරුන් සියලු දෙනාද එදින කොමිසම පරිශ්‍රයට කැඳවා ගැනීම මෙහෙයුමට අයත් විය. ඒ ගැන ආරංචි වූ අගමැතිවරයා කිරිඇල්ල හා ගයන්තට කතා කර දැක්වූයේ විරෝධයකි.   


“අරගොල්ලන් වගේ සෙනඟ නම් ගෙන්නන්න එපා. මැති ඇමැතිවරුන්ටත් අය-වැය විවාදයට යන්න කියන්න” අගමැති කීය.   
“නැහැ. කැමැති අයට එන්න කියමු. සෙනඟ ගේන්නේ නැහැ. කිරිඇල්ල මෙන්ම ගයන්තද කීහ.   


සඳුදා සුපුරුදු පරිදි දෛනික ව්‍යායාම හා වෛද්‍ය පරීක්ෂණ නිම කළ අගමැතිවරයා මුලින්ම ගියේ අරලියගහ මැදුරටය. එහිදී රාජකාරි කිහිපයක් නිම කළ ඔහු අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි බැඳුම්කර කොමිසම වෙත ගියේ තනිවමය.   


දෙස්-විදෙස් මාධ්‍ය රැසක් එය ආවරණයට පැමිණ සිටි අතර වාහනයෙන් බැසගත් විගසම අයකු කීවේ “සර් පෞද්ගලික රූපවාහිනියක් හා ගුවන් විදුලියක් මේක සජීවීව දෙනවා. එයාලට පුදුම සතුටක් අද ඇත්තේ” කියාය.   


එය ඇසූ අගමැතිවරයා සිනාසුණා මිසක කිසිවක් කීවේ නැත. උදේ 9.50ට අගමැතිවරයා කොමිසමට ගිය අතර කටයුතු ඇරැඹුණේ 10.10ටය.   


එහිදී කොමිසමේ සභාපතිවරයා මූලික ප්‍රකාශය කළේය.   


“අගමැතිතුමාට කොමිසමට එන ලෙස අප බල කළේ නැහැ. කළ ඉල්ලීමට සහය පළ කිරීම ගැන ස්තුතියි.” කොමිසමේ සභාපති කේ.ටී. චිත්‍රසිරි මහතා කීවේය.   


කොමිසමට පැමිණි මැති-ඇමැතිවරුන්ගෙන් ඉතා ආවේගශීලීව ප්‍රශ්න අසමින් හා අනවශ්‍ය ලෙස හැසිරෙන බවට කොමිසමේ ප්‍රධානීන්ගෙන් චෝදනා ලැබූ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙනුවට අගමැතිවරයා ප්‍රශ්න කිරීමට නීතිපති ජයන්ත ජයසූරිය මහතා කොමිසම විසින් කැඳවනු ලැබ තිබීමද විශේෂත්වය විය.   


“මේ අවස්ථාවට නීතිපතිතුමාව කැඳෙව්වේ අගමැතිතුමාගේ ඉහළ නිල තත්ත්වය ගැන බලලයි” කොමිසම පැත්තෙන් ප්‍රකාශයට පත්විය.   
එහිදී මහ බැංකු කටයුතු මූල්‍ය නීති පනතට අනුව විය යුතු බව ඔබ දැන සිටියා දැයි ඇසූ විට අගමැතිවරයා කීවේ මෙවැන්නකි.   


“ඔව් දැන සිටියා. ඒත් ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවටත් උපදෙස් දීමේ අයිතිය තිබෙනවා. රාජ්‍ය මුදල්වල වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ඒත් පසුගිය ආණ්ඩු කාලේ මහ බැංකුව පාර්ලිමේන්තුවට වග නොකියන පසුබිම තිබුණා. නීතිපතිගේ බලය ශක්තිමත් විය යුතුයි. භාණ්ඩාගාර ලේකම් හා සෙසු නිලධාරීන්ට අප නිසි උපදෙස් දී තිබුණා.   


අගමැතිවරයාගෙන් විමසූ ප්‍රශ්නවලට ඔහු තව දුරටත් කීවේ,   
“විනිමය හෝ පොලී අනුපාත හෝ තීන්දු කිරීමේ වැඩවලට අප මැදිහත් වුණේ නැහැ. පසුගිය කාලේ අය-වැයෙන් අනුමත කළ දේ විසර්ජන කෙටුම්පත්වල සඳහන් නැහැ. මූල්‍ය අරමුදල සමඟ මූල්‍ය සීමා ගැන ගහපු ගිවිසුම් පවා කඩ කර තිබුණා” අගමැති කීවේය.   
“උතුරු අධිවේගය ගැන සිංගප්පූරු සමාගමකින් අපට ලියුම් එනවා. ඔවුන් මුදල් ඉල්ලනවා. ඒත් සටහන් හෝ නැහැ. මේවාත් හොයන්න ඕනෑ.   


මහ බැංකුවේ අතීත දත්ත කිසිවක් තිබුණේ නැහැ. ඒත් අප පත්වූ පසු විනිවිදව තොරතුරු ලේඛනගත කළා. මූල්‍ය අරමුදලට හරි තොරතුරු දෙන්න ලැබුණේ 2016 දීයි. ළබැඳියන් ගැන මුලින්ම මතු කළේ අපයි.   


“කබ්රාල්ගේ සහෝදරිය පර්පචුවෙල් සමාගමෙහි හිටියා. ඇලෝසියස්‍ට ඉවත් වෙන්නයි. අප කීවා. පිටිපන කොමිසමෙන් හෝ කෝප් වාර්තාවෙන් හෝ අර්ජුන් මහේන්ද්‍රන් වැරැදිකරුවකු බව සනාථ වුණේ නැහැ. අප පාර්ලිමේන්තුව ශක්තිමත් කරමින් මූල්‍ය කමිටුව පත් කළා.   


මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල තොරතුරු දැන ගැනීමේ පසුබිම හැදුවා. අතීත වැරැදි යළි වන්න ඉඩ තබන්නේ නැහැ. මේ කොමිසමේ හා අනෙක් වාර්තා සලකා බලා විදේශ උපදේශක සහයත් ගෙන පිටිපන කොමිසම ඉදිරියේදී තව දුරටත් ක්‍රියා කරාවි. මූල්‍ය රැස්වීම්වලට පාස්කරලිංගම් යනවා. වැදගත්ම දෙයක් මිසක් හැමදේම ඔහු මට දැනුම් දෙන්නේ නැහැ” අගමැතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.   


පෙරවරු 11.15ට පැයක ප්‍රශ්න කිරීම් හමාර කළ අගමැතිවරයා පිටතට පැමිණ මාධ්‍ය අැමැතීය.   


“යහ පාලනය ඉදිරියටම ගෙනයනවා. මා විතරක් නොව කොමිසම තවත් ඇමැතිවරුගෙන් ප්‍රශ්න කළා. අඩුපාඩු වෙන්න පුළුවනි. ඒත් අප හරි පාරේ යනවා” අගමැති කීය.   


අනතුරුව ඔහු කෙළින්ම පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු කටයුතු නිසා කොමිසමට පැමිණීමට නොහැකිවූ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු එජාප පිරිස කාර්යාලයේ රැඳී සිටිමින් අගමැතිවරයා උණුසුම්ව පිළිගත්තා පමණක් නොව විවිධ ප්‍රශ්නද අසන්න වූහ.   


“මෙච්චර කල් ආණ්ඩුවට අවාසි දේයි මාධ්‍යවල ගියේ. ඔබතුමා ගිය වෙලාවේ ඉඳලා වාසි දේවල් යන්නේ ඒ අදෘශ්‍යමාන බලවේගක් නිසාද? එදින කොමිසමට ද ගිය දයා ගමගේ ඇසුවේ සිනාසෙමිනි.   


“කොමිසමේ නියමයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අපේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් ගැන පරීක්ෂා කර තිබෙනවා. ඒ රහස් මාධ්‍යවලට දුන්නේ කවුද? මාධ්‍ය ඒවා පළ කළේ කුමන පදනමෙන්ද? මා මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නය උදේ පාර්ලිමේන්තුවේදී මතු කළා.” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා ඔහුට ස්තුති කළේය.   


“අගමැතිතුමාගේ නිල දුරකථනයටත් සවන් දී ඇති බව ආරංචියි. ඒක කළේ කවුද? කාගේ උපදෙස් මතද කියලත් සොයන්න. මේක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්” රන්ජන් රාමනායක කීවේය.   


“හැම පක්ෂ නායකයකුම දුරකථන ටැප් කරනවාට විරුද්ධයි. සිකුරාදා පක්ෂ නායක රැස්වීම කැඳවලා මේ ගැන කතා කරනවා” කිරිඇල්ල කීය.  


“අගමැතිතුමාගේ හා මන්ත්‍රීවරුන්ගේ දුරකථන ටැප් කර තොරතුරු ගත් අයට වගේම ඒවා පළ කළ මාධ්‍යවල ප්‍රධානීන්ටත් වරප්‍රසාද කමිටුවට යන්න වේවි.” රන්ජන් කීවේය.  


“පාර්ලිමේන්තුවට අධිකරණ බලය ඇති බව සුමන්තිරන් කොමිසමේදී පෙන්වා දුන්නා” වජිර අබේවර්ධන කීය.   


“දුරකථන සංවාද ටැප් කරන විට ඇලෝසියස් චූදිතයකු වෙලා හිටියෙත් නැතිලු. අනික දුරකථන සංවාද සැලකිල්ලට ගන්නේ නැති බව කොමිසම කියනවා. එහෙනම් කොමිසම ඒවා ඉල්ලුවේ හා ප්‍රසිද්ධ කළේ ඇයි කියලත් ප්‍රශ්න තිබෙන බව නීතිඥයකු මට කිව්වා” දයා ගමගේ කීය.   


“කොමිසමේ සිට පාර්ලිමේන්තු එනවිට ප්‍රබල ව්‍යාපාරිකයකු මට කතා කළා. නීතිපති උපදෙස් අනුව ඔබතුමා පර්පචුවෙල් එකෙහි බලපත්‍රය අවලංගු කළා නම් නීතිපති උපදෙස් මත මහ බැංකු ඇතැම් නිලධාරීන්ගේ වැඩ නැවැත්තුවා නම් නීතිපති උපදෙස් මත සීඅයිඩී පරීක්ෂණ ඇරැඹුවා නම් ඒ නීතිපතිම ඔබතුමා කූඩුවට නංවා ප්‍රශ්න කිරීම පුදුමයි කියා එයා කිවුවා. මේක තමයි, විස්මිත යහ පාලනය කියලා මා උත්තර දුන්නා” අගමැති කීවේ උස්හඬින් සිනාසෙමිනි.  


“අප පාර්ලිමේන්තු සභා ගැබටත් යමු” කිරිඇල්ලගේ යෝජනාවට එකඟවූ අගමැති එහි ගිය විට නිමල් සිරිපාල ඇතුළු ශ්‍රීලනිප මැති ඇමැතිවරු කොමිසමට යාම අගය කරමින් කතාබහ කළහ.   


පසුදා උදයේම අගමැතිවරයා ඉන්දියානු නිල සංචාරයට පිටත් විය. එහිදී එරට ජනපති-අගමැති ඇතුළු නායකයන් හමුවීමටද පස්වැනි ලෝක සයිබර් සමුළුවට එක්වූයේය.  


“පළාත් පාලන ඡන්ද ගැසට් එකට විරුද්ධව උසාවිය අතුරු තහනම දීලා” ලක්ෂ්මන් කිරිඇල්ල රවි කරුණානායක ඇතුළු කිහිප දෙනෙක් නව දිල්ලිය අමතා අගමැතිවරයා දැනුම්වත් කළහ.  


“ඡන්ද කල් දානවට එජාපය එකඟ නැහැ. ඒ ගැන කියා වහාම නිවේදනය නිකුත් කරන්න. ප්‍රවෘත්ති සාකච්ඡා සූදානම් කර රට දැනුම්වත් කරන්න. මා ආවාම ඊළඟ පියවර ගැන කතා කරමු.” අගමැතිවරයා කීවේ කනස්සල්ලෙනි.


 

කතානායක

අයවැය විවාදය අතරතුර පසුගිය සතියේ උණුසුම් වාද විවාද රැසක් පාර්ලිමේන්තුවේ පැන නැගුණේ කෝප් කමිටු සාමාජිකයන්ගේ දුරකථන සංවාද ගැනය. බැඳුම්කර චූදිතයන් සමඟ කතා කළ කෝප් සාමාජිකයන් කෝප් කමිටුවෙන් ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ දුරකථන ඇමතුම් ගැන වාර්තා කිරීම තම වරප්‍රසාද කඩ කිරීමක් බැවින් ඒ ගැන පියවර ගන්නා ලෙසය.  


මේ කතා බහ අතරතුර සී. බී. රත්නායක මන්ත්‍රීවරයා කතානායකවරයාගේ අවධානය යොමු කළේ ආණ්ඩු පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරයකු කතානායක පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවසා ඇති බවකි.  


“දෙපැත්තෙන්ම එහෙම කියනවනේ. එයින් පැහැදිලියි මම සමබරව කටයුතු කරන බව” කියමින් කතානායකවරයා ඊට සිනහවකින්ම පිළිතුරු දුන්නේය.  


දිවයිනේ පළාත් නවයම නියෝජනය කරන ආණ්ඩුකාරවරු බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණියේ කතානායකවරයාගේ ඇරයුමිනි. පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සම්බන්ධීකරණය සහ අන්‍යොන්‍ය සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම මෙම හමුවේ අරමුණ විය.

පාර්ලිමේන්තුව මෑත කාලය තුළ භෞතික සම්පත් වර්ධනය කිරීමෙහිලා මෙන්ම ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ මන්ත්‍රීවරුන් සතු දැනුම පුළුල් කිරීමට ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කෙරිණි.