IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රන්ජන් එජාපය ගිනි තියයි

එජාප නායකත්වය ඉල්ලමින් සජිත් පාර්ශ්වය කරමින් තිබූ අභ්‍යන්තර අරගලයෙන් ගිනියම්ව තිබූ එජාපය තවදුරටත් ගිනියම් වූවේ රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමත් සමඟ එළිදුටු හඬපට රාශිය හේතුවෙනි.


ඒ ගැන දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම ජනතාව ද විශාල ව්‍යාකූලතාවයට පත්ව සිටිති. බ්‍රහස්පතින්ද‌ා පාර්ලිමේන්තුවේ දී එජාප නායකයා ප්‍රමුඛ පිරිස් මේ ගැන දැඩි අවධානය යොමු කළහ.


‘රන්ජන්ගේ ප්‍රශ්නය අප පරිස්සමෙන් කළමනාකරණය කර ගන්න ඕනෑ. ඕනෑම දේශපාලකයෙකුට පිටින් කෝල් එනවා. ඒ වගේම දේශපාලකයින් රටේ ඉහළම සිට පහළම අය දක්වා ඇමතුම් දෙනවා. එතනදී අවශ්‍ය අනවශ්‍ය නොයෙක් දේවල් කතා කරනවා. ඒක ලෝක ස්වභාවයයි.
උසාවිවල තිබෙන නඩුවලට සපෝර්ට් එකක් අරන් දෙන්න කියා මටත් ඕනෑ තරම් දුරකතන ඇමැතුම් ඇවිත් තිබෙනවා. ඒත් ඇමතුම් පටිගත කිරීම රන්ජන්ගේ පැත්තෙන් වුණා නම් හා මේවා ඇත්ත හඬ පට නම් එතන සද‌ාචාරය සම්බන්ධ ප්‍රශ්නය නම් තිබෙනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ලගේ මතය වූවේ එයය.
‘රන්ජන් ගැන තීන්දුව ගන්න කියා හැමෝම වගේ කියනවා. ඒ ගැන පක්ෂය හැටියට අවධානය යොමු කරන්න වෙනවා.’ එජාප නායකයා පිළිතුරු දුන්නේය.
‘ආණ්ඩුව ලෙස අප අධිකරණය, පොලිසිය, මාධ්‍ය නිදහස 2015 ට කලින් තිබූ බිය සැක නැති කළා. ඒත් මේ ආණ්ඩුව ආපු ගමන් ජාතික හා ජාත්‍යන්තර වශයෙනුත්, ආර්ථික වශයෙනුත් විශාල ප්‍රශ්න ආවා. ඒ නිසා රන්ජන්ගේ හඬ පට නාට්‍ය එළියට ද‌ාලා සියලු ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුව දරන උත්සාහයට ඉඩදිය යුතු නැහැ නේද?’ හිටපු ඇමැති චම්පිකා ප්‍රේමද‌ාස කී දේ සියලු දෙනා අනුමත කළහ.


‘ආණ්ඩුව පැත්තෙන් රන්ජන්ගේ තෝරා ගත් හඬ පටි විතරයි එළියට ද‌ාන්නේ. එක්කෝ මේ සෙල්ලම නවත්තන්න ඕනෑ. නැතිනම් සියලු හඬ පටි එළියට ද‌ාන්න ඕනෑ. එතකොට අද හඬ පටි ගැන කෑ ගහන බොහෝ දෙනෙකුගේ රෙදි ගැළවේවි කියලා ආරංචි’ ජේ.සී. අලවතුවලගේ අදහස එය විය.
‘සියලු හඬ පටි කථානායක බාරගෙන විනිවිදව නීතිමය පියවර ගත හැකි ​දේවල් ගැන ක්‍රියා මාර්ගය ගැනීමයි, හොඳම විසඳුම වෙන්නේ.’ එජාප නායකයා කීවේය.
‘ආණ්ඩුව එතකොට දීපු පොරොන්දු දැන් අමතකයි. හාල් හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට නැඟලා. පාසල් නිල ඇඳුම් වවුචරය රුපියල් 1000 ඉඳලා 500ට අඩු කරලා. නිකම් තියා සල්ලිවලටවත් අද පොහොර නැහැ. අප යෝජනා කළ පඩි වැඩි කිරීම් කපා ද‌ාලා. රට රකින්න ඇවිල්ලා මාසෙන් කොළඹ වටිනාම ඉඩමකුත් විකිණුවා. මේ ආණ්ඩුව නාන නෑම යට ගහන්න දැන් රන්ජන්ගේ හඬ පට යොද‌ා ගන්නවා කියා ජනතාවට තේරෙනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.
එජාප ගෲප් එකේදී පක්ෂය ගැන ගන්න තීන්දුව මොකක්ද? රටම ඒ දිහා බලාගෙන ඉන්නවා.’ චම්පිකා ප්‍රේමද‌ාස ඇසුවේ එජාප නායකයාගෙනි.
ඒ ගැන තීන්දුවකට එන්න වෙනවා. කල් ද‌ාන්න බැහැ. සජිත් - කරු ඇතුළු නායකයන් ගැන අවධානය දක්වන්න වෙනවා.’ එජාප නායකයා කීවේ එපමණකි.
‘ජනාධිපතිවරණයේ දී එජාපයෙන් ගිලිහුණු සිංහල - බෞද්ධ ජන පදනම යළි දිනා ගන්න අවශ්‍යයි. ඒ ගැනත් අවධානය යොමු නොකර බැහැ නේද?’ කේ.කේ. පියද‌ාසගේ මතය එය විය.


‘ආණ්ඩුව ළඟ ළඟ නාන නිසා සියලුදෙනාට එකතු විය හැකි හා ජනතාව අනුමත කරන විසඳුමට යන්නම වෙනවා.’ ජේ.සී. අලවතුවල කීවේය.
‘ඒක හරි, රන්ජන්ගේ ප්‍රශ්නයත් ආපු නිසා මේ වෙලාවේ එකමුතුකම ආණ්ඩුවට එරෙහිව අපට පාවිච්චි කළ හැකි හොඳම අවියයි. සියලු දෙනාට මේ ගැන පළල්ව හිතන්න වෙනවා.’ එජාප නායකයාගේ ස්ථාවරය එය විය.


එජාප මන්ත්‍රීන්ගෙන්
රන්ජන්ට බැණුම්


එක්සත් ජාතික පක්ෂය තුළ පසුගිය සතියේ මූලික මාතෘකා දෙකක් පිළිබඳ සාකච්ඡා විය. එහි පළමුවැන්න රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසින් පොලිසිය ලබාගත් දුරකථන සංවාද ඇතුළත් සංයුක්ත තැටි පිළිබඳවය. දෙවැනි කරුණ වූයේ පසුගිය 31 වැනි දිනෙන් අවසන් වූ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය යළිත් බල ගැන්වීම සිදු නොවීම පිළිබඳවය.


මන්ත්‍රීවරු කණ්ඩායම් වශයෙන් පාර්ලිමේන්තුවේ ලොබියේ හා භෝජනාගාරයේ සාකච්ඡා පැවැත්වූහ. ඒ පාර්ලිමේන්තුවේ කතාබහට අමතරවය. සිඩ්නි ජයරත්න මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් භෝජනාගාරයේ දී රන්ජන් රාමනායක මහතා දැඩි දෝෂ දර්ශනයට ලක් කළේ දුරකථන සංවාද තැටිගත කිරීම පිළිබඳවය. ‘ඉස්සා තමන්ගේ හිසේ අසූචි තියාගෙන මං සුදනා’ කියන්නා සේ රන්ජන් ද තමන්ගේ අනේක අප්‍රමාණ හැසිරීම් ගැන කතා නොකර අනුන්ගේ අඩුපාඩු කතා කර තිබෙන බව මන්ත්‍රීවරු කීහ. රන්ජන් තමන් සමඟ පැවැති සංවාද පටිගත කිරීම ඉතා පහත් ක්‍රියාවක් බව ඔවුන්ගේ මතය විය.


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කමිටු කාමරයක දී පැවැත්වුණි. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස, ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු හා චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මැති ඇමැතිවරු ගණනාවක් සමඟ වැඩබලන පොලිස්පතිවරයා හා ඉහළ පොලිස් නිලධාරීන් ගණනාවක් සහභාගි වී සිටියහ. මෙහිදී සජිත් ප්‍රේමද‌ාස මහතා ප්‍රකාශ කළේ පලිගැනීම් චේතනාවෙන් මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම් නොකරන ලෙසයි. පාඨලී චම්පික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පෙන්වා දුන් විපක්ෂනායකවරයා කීවේ තොරතුරු වසන් කළ පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගත යුතුව තිබූ බවයි.


මන්ත්‍රීවරුන්ගේ බිරින්ඳන්ට, දරුවන්ට අපහාසයක්, අවමානයක් වන ආකාරයට පොලිසිය කටයුතු නොකළ යුතු බව ද විපක්ෂනායකවරයා කීවේය.


වෝහාරික විගණන වාර්තාව ගැන කතානායකට තීරණයක් ගත හැකියි.


මේ වන විට රටේ ඇති වී තිබෙන විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් සමග මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව කතාබහ යටපත් වෙමින් තිබේ. පසුගිය දෙසැ. 03 වැනිද‌ා පාර්ලිමේන්තුව කල්තැබීම අවස්ථාව වන විට මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව විශාල කතාබහක් මතුව තිබුණ ද ජනවාරි 03 වෙනිද‌ා  පාර්ලිමේන්තුව නැවත කැඳවන අවස්ථාවේ ඒ පිළිබඳව කතාබහ නිවී ගොස් තිබිණි. ඒ පමණක් නොව වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට පත් නොකළ යුතු බවට ද නීතිපතිවරයා නිර්දේශයක් නිකුත් කර තිබේ.


කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පෙර කතානායකවරයා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට දුරකතනයෙන් කතා කොට මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගැන කතාබහ කළේය. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඒ මොහොතේ කතානායකවරයාට කියා සිටියේ තමන් වෙත එවා තිබෙන සියලුම නීතිමය ලිපි ලේඛන කෝප් කමිටුවේ ලේකම්තුමිය මගින් කතානායකවරයාට එවිය හැකි බවත් එම නීතිමය ලේඛන පරිශීලනය කිරීමෙන් අනතුරුව කතානායකවරයාට එකී විගණන වාර්තා මන්ත්‍රීවරුන් අතට පත් කළ හැකි ද යන්න තීරණය කළ හැකි බවත්ය. එය එසේ තිබිය දී පාර්ලිමේන්තුව කැඳවන දිනයේ නීතිපතිවරයා නිර්දේශ කොට එවා තිබුණේ විගණන වාර්තා මන්ත්‍රීවරුන් අතට පත් නොකළ යුතු බවයි. එද‌ා කතානායකවරයා කළේ නීතිපති එවලා තිබුණ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එක පමණයි. නමුත් කතානායකවරයාට තීරණය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතර යෝජනාවෙන් මේ විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට දෙන්න. මේවා විශාල මුදලක් වියදම් කොට සකස් කරපු වාර්තා. මේවා මහජනතාවට අයිති ඒවා. ඒ විතරක් නෙවෙයි දැන් වෙන වෙන කතා කියන්නේ නැතුව හැකි ඉක්මනින් කෝප් කමිටුව කැඳවන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම මම ප්‍රශ්න කරනවා විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට ලබා දීම ගැන කතානායකවරයාට තීරණයක් ගන්න බැරි ඇයි කියලා.’ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.


එජාප රැස්වීමේ ගෝරි   

එජාප නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉකුත් බ්‍රහස්පතින්දා පැවැත්වූ එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ගාලගෝට්ටි ඇතිවිය.   
නවීන් දිසානායක මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට පරාජය වූ බව කියද්දී සජිත් පාර්ශ්වය නවීන්ට එරෙහිව කෑ ගසා තිබේ.   


ද්වේශ සහගත ලෙස හම්බන්තොට පරාජය ගැන කතා නොකළ යුතු බවට මෙම පිරිස නවීන් දිසානායක මහතාට දොස් පවරමින් කතා කර ඇත. නවීන් දිසානායක මහතා ඉන් එහාට කතා නොකර නිහඬ වූ බව සඳහන් වේ.   


පාලිත රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ පක්ෂයේ බෙදීමක් ඇතිකර නොගත යුතු බවයි. වජිර අබේවර්ධන මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතරද බහින් බස් වීමක් සිදුවී ඇත. වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා එළවීමට උත්සාහ ගන්න අය මතක තබාගත යුතු කරුණක් ඇති බවයි. සිරිමා බණ්ඩාරනායක මැතිණිය දිගටම පක්ෂ නායකත්වයේ සිටීම ඒ පක්ෂයට ගැටළුවක් නොවූ බවද අපට අවශ්‍ය සිංහල බෞද්ධ නායකයෙක් බවද ඔහු ප්‍රකාශ කර ඇත.   
එහිදී සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත්තේ මම සිංහල බෞද්ධයෙක් නොවෙයි කියල කියන්නෙ කොහොමද? බොරු කියන්න එපා. ඔයා ගැන කතා කරල වැඩක් නැහැ. අනිත් පැත්තට අපේ තොරතුරු දුන්නෙ කවුද? කතා කරන කොට දුරකථනය ඕෆ් කරගෙන සියලු තොරතුරු දුන්නා. අපි ඒවා නොදන්නව නෙවෙයි. මේ කරන කතා බහත් කොහොම යනවද දන්නෙ නැහැනේ. අපිට තිබුණේ සියලු දුරකථන එළියෙ තියල එන්නයි. යනුවෙන් කියද්දී මන්ත්‍රීවරු මහහඬින් සිනාවෙමින් තම තමන්ගේ දුරකථන රැස්වීම් ශාලාවෙන් පිටතට ගෙන ගොස් තැබූහ.   


මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ කරු ජයසූරිය නායකයෙක් වශයෙන් සිංහල බෞදධ ඡන්ද ලබා ගත හැකි පුද්ගලයෙක් බවය. පක්ෂ නායකත්වයේ සිටින තවත් එළියට නොපැමිණ සිටිය හැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත. එහිදී මන්ත්‍රීන් ප්‍රකාශ කර සිටියේ එළියට එන්නෙ නැති පක්ෂ නායකයෙක් අවශ්‍ය නොවන බවයි.   
සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ මම අභියෝග කරනවා, පුළුවන් නම් කරු ජයසූරිය මාත් එක්ක ගම්පහින් තරග කරල දිනල පෙන්වන්න යනුවෙනි.   


රවි සමරවීර මහතා ප්‍රකාශ කළේ 17ක් එක්ක පක්ෂයෙන් ගිහිල්ල පක්ෂය නැති කළා. එහෙම කෙනකුට නායකත්වය දෙන්න පුළුවන්ද යනුවෙනි. සරම ඔළුවෙන් ගලවන්න හැදූ අයත් එදා හිටියා. ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ මෙහෙම බල බල ඉඳල හරියන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂ නායකයා පත් කරන්න යනුවෙනි.   
රැස්වීම තව දුරටත් ගාලගෝට්ටියෙන් පිරී යද්දී යළිත් 16 වැනිදා හමුවී කතා කරමු යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇති අතර සජිත් පිලේ මන්ත්‍රීවරුන් එයට කැමැති වූයේ නැත. එහිදී එජාප නායකයා කියා ඇත්තේ තමන් විදේශගතවන බවය.   

 

 



අදහස් (0)

රන්ජන් එජාපය ගිනි තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site