IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මහින්ද හවුල්කරගත් හේතුව ​ජනපති පැහැදිලි කරයි

නව අගමැතිවරයකු යටතේ ආණ්ඩුවක් පත්කර මේ වනවිට මාසයකුත් දින කිහිපයක් ගතවී හමාරය. එසේ වුවද රට තුළ ඇතිව තිබූ දේශපාලපන අර්බුදය ද දවසින් දවස උග්‍ර වනවා මිස විසඳෙන පාටක්ද නැත. ආණ්ඩුවත් විපක්ෂයත් බහුතරය ගැන තර්ක විතර්ක කරද්දී ජනතාව බලා සිටින්නේ මේ අර්බුදය විසඳෙන තෙක්ය.


පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සඳුදා හැන්දෑවේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවීය. කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභාව හිටපු අගමැති දි.මු. ජයරත්න, 15 කණ්ඩායමේ ඩිලාන්, තිලංග, ලක්ෂ්මන්, වසන්ත පෙරේරා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. එදින මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැති බවට පත්කරමින් නව ආණ්ඩුවක් පිහිටුවන්න හේතුවූ කරුණු කාරණා ගැනද පැහැදිලි කළේය. ජනාධිපතිවරයා කීවේ තමා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීම හොඳට හිතා බලා ගත් තීන්දුවක් බවය. “සමහරු කියනවා මම මේ තීන්දුව ගැන කලින් කතා කළේ නැහැ කියලා මම ගෙදර අය එක්කවත් මේ ගැන කතා කළේ නැහැ. එහෙම කලින් කතා කළා නම් මට මේ තීන්දුව ගන්න බැහැ”යැයි ජනාධිපතිවරයා කීවේ සිදුහත් කුමාරයා ගිහිගෙය අතහැර යෑමේ සිද්ධියද සිහිපත් කරමිනි. එදා සිදුහත් කුමාරයා ගිහිගෙය අත්හැර යන බව යශෝධරා දේවිය සමඟ කිව්වා නම් සිදුහත් කුමාරයාට ගිහිගෙය අත්හැරල යන්න ලැබෙන එකක් නැහැ. එහෙම නම් ඉන්න වෙන්නෙ සක්විති රජවෙලයි’ යැයි ජනාධිපතිවරයා කීවේය.


කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස ඇතුළු කිහිප දෙනකු ඉකුත්දා කොළඹ මහජන පුස්තකාලයේ රැස්වීමක් පවත්වමින් ජනාධිපතිවරයාත්, පොහොට්ටුවත් විවේචනය කරමින් කර තිබූ කතාවකටද ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය. ජනාධිපතිවරයා කීවේ මේවා පිටුපස ඉන්න අය ගැනද තමා දන්නා බවය. “මම ගත්ත තීන්දුව හොඳට හිතල බලල ගත්ත තීන්දුවක්. ඒකෙ සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා. ජනාධිපතිවරයා කීවේය. යූඑන්පී එකත් එක්ක එකට ඉන්න බැහැ කියලා මධ්‍යම කාරක සභාවේදී තමුන්නාන්සේලා කී පාරක් කතා කරල තියෙනවාද? මම යූඑන්පිය අයින් කරල අලුත් ආණ්ඩුවක් හැදුවා ජනාධිපතිවරයා කීවේ පිට ඉඳන් චෝදනා කරන අයටද පිළිතුරු දෙමිනි.


හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාද ජනාධිපතිවරයා ගත් තීන්දුව අගය කරමින් දිගු වෙලාවක් අදහස් දැක්වීය. රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයාද ඒ ගැන පැහැදිලි කරමින් බොහෝ වෙලාවක් අදහස් පළ කරන්නට වූ අතර ගාල්ලේ යූ.ජී.ඩී. ආරියතිලක පළාත් සභා ඇමැතිවරයා අදහස් දක්වමින් ගාල්ලේ පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර ප්‍රශ්නයක් ඇති බව කියන්නට විය. 


අනෙක අපි පක්ෂ දේශපාලනයයි මැතිවරණයයි කියන එක පටලවා ගෙන. මේක න්‍යාය පත්‍ර දෙකක්. අපි 96 දී, 70 දී, 94 දී, 2004 දී එකට එකතුවෙලා සන්ධානවලින් ඉල්ලලා ජයග්‍රහණය කළා. ඒ කාලවල සන්ධානගතව සිටි සමහර පක්ෂ යටින් වැඩ කරල දිනා ගත්තෙ නැද්ද? ඒ නිසා අපි දැන ගන්න ඕනැ කොහොමද වැඩ කරන්නෙ කියලා යැයි සරත් ඒකනායක කීවේ පොහොට්ටුවට බණින අයටද නැවත ඒ ගැන හිතන්නට සිහිපත් කරමිනි.


ඒ අතර යෝජනා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් කොළඹදී පවත්වා ජනාධිපතිවරයා ගත් අභියෝගාත්මක පියවර ගැන පාක්ෂිකයින් දැනුවත් කිරීමටය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සමුළුව 2 වැනිදා පවත්වන්නට යෝජනාවුවද ෆයිසර් මුස්තාපා සුගතදාස ක්‍රීඩාංගණයට කතා කර විමසද්දී දැන ගන්නට ලැබුණේ 2 වැනිදා වෙනත් කටයුත්තකට එම ස්ථානය ලබාදී ඇති බවය. ඒ අනුව අනිද්දා (04) එම සම්මේලනය ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වය ඇතිව ඉතාම ඉහළින් පවත්වන්නට තීරණය විය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයින් කිහිප දෙනකු පොහොට්ටුවට එකතුවීම නිසා එහි පුරප්පාඩු කිහිපයක් ඇතිව තිබූ අතර ජනාධිපතිවරයා අලුතින් කිහිප දෙනකු මධ්‍යම කාරක සභාවට පත්කර තිබිණි. ජීවන් කුමාරතුංග, ජගත් පුෂ්පකුමාර, කේසරලාල් ගුණසේකර මෙන්ම බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ ඇතුළු කිහිප දෙනෙකුද මෙවර මධ්‍යම කාරක සභාවට පැමිණ සිටියේ ඒ අනුවය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී විදේශ මාධ්‍යවේදීන් හමුවූයේ පසුගිය දිනවල ගනු ලැබූ දේශපාලන තීන්දු හා වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමේ අරමුණෙනි. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමටත් තමා ගත් තීන්දුව ජනාධිපතිවරයා සාධාරණීකරණය කරමින් කරුණු පැහැදිලි කළේ උදාහරණ ද ඉදිරිපත් කරමිනි. රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ජීවිතයේ කිසි දිනෙක අගමැති ධුරයට පත් නොකරන බව ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ කීවේද පළමු වරට එහිදීය. ඒ අතරම ජනාධිපතිවරයා කීවේ රනිල්ගෙ ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ වංචා සෙවීමට වෙනම ජනාධිපති කොමිසමක් ද පත් කරන බවය.   


මේ අතර ඉකුත් සති අන්තයේ කොළඹදී පැවැති උත්සවයකදී ද කීවේ රනිල් සමඟ නොගැළපෙන දීගය නමින් ජනවාරි මාසයේ ද තමා පොතක් ද එළිදක්වන බවය.  
සතියේ කැබිනට් රැස්වීම අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ මොහොතේ අයවැයක් ඉදිරිපත් කිරීමට තරම් වාතාවරණයක් නොමැති නිසා ලබන වසරේ මුල කාර්තුවේ රජයේ වියදම් පියවා ගැනීමට රුපියල් බිලියන 1735ක අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසිනි. ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණ අතර ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ද යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම වෙනුවෙනි. එය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයින් විද්වතුන් හා ආයෝජකයින් ඇතුළත් වන පරිදි පත් කිරීමට තීරණය විය. බන්දුල යෝජනාව ඉදිරිපත් කරමින් කීවේ සිංගප්පූරු ගිවිසුම් ආදිය හිතුවක්කාරි ලෙස ඇති කිරීම නිසා මහත් හානියක් සිදුව ඇති බවය. විමල් වීරවංශ හා දයාසිරි ජයසේකර ද එම අදහසම ඉදිරිපත් කළ අතර දයාසිරි කීවේ පත්කරන විද්වත් කමිටුවේ නාමලේඛනය ලබන සතියේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන්නැයි කියාය. පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන නිසා කැබිනට් රැස්වීම කාලීනව අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේය.  


අඟහරුවාදා ප.ව. 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ අතර ඊට සහභාගි වන්නේද නැද්ද තීරණය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් අති බහුතරය කීවේ එදින පාර්ලිමේන්තු රැස්වීමට නොයා යුතු බවය. කතානායකවරයා අගමැති ඇමැති මණ්ඩලය සභානායක සහ ආණ්ඩු පක්ෂ සංවිධායක නොපිළිගන්නේ නම් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීම තේරුමක් නැති බව ඔවුහු කියා සිටියහ. එක් මන්ත්‍රීවරයකු කීවේ අපි නොගියට විපක්ෂය පාර්ලිමේන්තුවේ රැස්වෙලා කතා පවත්වලා. එයාලගේ මතය නොමිලේම රටට කියන්න පුළුවන් නේද කියාය. වාසුදේව කීවේ කතානායකවරයා කරන එම කටයුත්තද නීති විරෝධී බවය. ඒ ගැන විදුලි සංදේශ නියාමන කොමිසමට ද පැමිණිලි කරන බව වාසු කීවේය. උදය ගම්මන්පිල කීවේ කතානායකවරයා හැන්සාඩ් වාර්තා වෙනස් කර ඇති බවය. කතානායකවරයා කූට ලේඛන සකස් කර ඇති බව කියමින් තමා ඒ ගැන පැමිණිලි කරන බව ගම්මන්පිල කීවේය.  

 

 


අගමැතිවරයාගේ වියදම් කපා හැරිය යුතු බවට යෝජනාවක් විපක්ෂයෙන් ගෙනා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කළේ එය ව්‍යවස්ථා විරෝධී බව කියමිනි. එදින ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම උදේවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්විය. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහභාගි වන විට තරමක් ප්‍රමාද වූ බැවින් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වූයේ දිනේෂ්ගේ හා නිමල් සිරිපාලගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම යන අතරේ මහින්ද ආවේය. ආණ්ඩු පක්ෂ රැස්වීමට බන්දුල ගුණවර්ධන පැමිණ සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතක්ද අරගෙනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්ති අනුව අගමැතිගේ වියදම් කපා හරින්න යෝජනාවක් විපක්ෂයට ගේන්න බැහැ. ඇමැතිවරයෙක් එහෙම යෝජනාවක් ගෙනාවත් ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්න ඕන බන්දුල පැහැදිලි කළේ ව්‍යවස්ථාවේ 152 වගන්තිය ද කියවමිනි. මෙය විසර්ජන පනතින් සම්මත කරන එකක් එහෙම එකක් පනතකින් නැතිව වෙනස් කරන්න බැහැ යැයි සුසිල් කියද්දි දිනේෂ් කීවේ අනෙක මේ ප්‍රශ්නය දැන් අභියාචනාධිකරණයට ගිහින් තියෙන වෙලාවක පාර්ලිමේන්තුවේ විවාද කරන්නෙ කොහොමද කියාය. විමල් වීරවංශ ද අදහස් දැක්වීය. පැහැදිලි කළේය. ඒ අනුව එදිනද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවීමට තීරණය කළ ආණ්ඩු පක්ෂය මේ ගැන කතානායක හමුවී පැමිණිලි කිරීමටද තීරණය කළේය.  


පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව දිනේෂ්, නිමල්, මහින්ද සමරසිංහ, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් කතානායකවරයාගේ කාමරයට ගොස් කතානායක හමුවී කීවේ මෙය ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බැවින් මෙවැනි යෝජනාවක් ගෙන ඒමට ඉඩ නොදෙන ලෙසය. මේ ගැන තමා නීති උපදෙස් ලබාගත් බව කතානායක කරු ජයසූරිය කීවේය. 



අදහස් (0)

මහින්ද හවුල්කරගත් හේතුව ​ජනපති පැහැදිලි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site