IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කොමිසමක් පත් කළාට ​ජනපතිට අර්ජුනගෙන් පැසසුම්

සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාද‌ා පෙරවරුවේ පැවැත්වූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. හදිසි මිලදී ගැනීම් යටතේ මෙ.වො. 100 ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට අද‌ාළව රවි කරුණානායක ඇමැතිවරයා කලින් සතියේ ඉදිරිපත් කර තිබූ කැබිනට් සංදේශයට ජනපති මෛත්‍රී ද මෙවර නිරීක්ෂණ ඉදිරිපත් කර තිබිණි. රවි යෝජනා කර තිබුණේ ටෙන්ඩර් කැඳවා දින 10 ක් ඇතුළත විදුලිය මිලදී ගැනීමට අවසර ඉල්ලමින්ය. එහෙත් රවිගේ යෝජනාවට විරුද්ධව ජනාධිපතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණේ සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් කටයුතු කරන ලෙස දන්වමිනි. ටෙන්ඩර කැඳවා දින 21 ක් ඇතුළත මිලදී ගැනීම් කිරීම සාමාන්‍ය කියා පටිපාටිය වෙන බැවින් එය අනුගමනය කරන්නැයි ජනාධිපතිවරයා දන්වා තිබිණි.


මේ අතර පාඨලි චම්පික රණවක ඇමැතිවරයා ද විදුලිය හදිසියේ මිලදී ගැනීමේ යෝජනාවට විරෝධය පළ කළේ නිරීක්ෂණ පත්‍රිකාවක්ද ඉදිරිපත් කරමිනි. ඔහු කීවේ විදුලිබල මණ්ඩලය පසුගිය අවුරුදු තුනේ බලාගාර අලුතින් හැදීම පමා කළ නිසා මෙසේ විදුලිය මිලදී ගන්නට සිදුව ඇති බවය. බලාගාර අලුතින් හැදීම ප්‍රමාද කිරීම ගැන සොයන ලෙස තමා 2017 දී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ බවත් එය නැවත නිරීක්ෂණය කරන ලෙස ඉල්ලා සිටින බවත් කියමින් ඔහු සිය නිරීක්ෂණ පත්‍රිකාව ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයා කීවේ එම ඉල්ලීම ද ජනාධිපති කොමිසන් සභාවට යොමු කරන බවය. 2015 ජනවාරි 15 වැනිද‌ා සිට 2018 දෙසැම්බර් 31 වැනිද‌ා දක්වා කාලය තුළ රජයේ ආයතනවල දූෂණ වංචා සෙවීමට ජනාධිපතිවරයා කොමිසමක් පත් කළේ ගිය සතියේය. ඇමැති අර්ජුන රණතුංග ගිය අඟහරුවාද‌ා පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයාට ස්තූතිය පළකරමින් කීවේ මෙවැනි කොමිසන් සභාවක් පත්කිරීම අගය කරන බවය. කබීර් හෂීම් ඇමැතිවරයා කීවේ ජනාධිපති කොමිසමට නිලධාරින් නැවත කැඳවද්දී ඔවුන් අධෛර්යවත් වේද කියන ගැටලුව තිබෙන බවය. ඒ සමඟම ඔහු විමසා සිටියේ මීට පෙර පත් කළ ජනාධිපති කොමිසම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ වංචා සිද්ධි 34 ක පරීක්ෂණ අවසන් කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නඩු පවරා නැති බව සඳහන් කරමිනි. නඩු පවරන එක අධිකරණ ඇමැතිතුමියගේ වැඩක් යැයි ජනාධිපතිවරයා කබීර්ට උත්තර දුන්නේය. අල්ලස් සංශෝධන පනත් කෙටුම්පත අද සම්මත වුණාම මේ සිද්ධි ටිකට නඩු පවරන්න පුළුවන් යැයි තලතා අතුකෝරළ ඇමැතිවරිය කීවාය.


මේ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරවල සිටින අයගේ ලිපිගොනු අතුරුදන්ව ඇති බව ජනාධිපතිවරයා ගිය සතියේ උතුරේදී කළ ප්‍රකාශය ගැන රිෂාද් බද්යුදීන් ඇමැතිවරයා විමසා සිටියේය. ඒ සමගම තලතා අතුකෝරළ ඇමැතිවරිය ෆයිල් ඔක්කොම තියෙන බව කියමින් මරණ දඬුවම නියම වූ 18 දෙනකුගේ ලිපිගොනුවක් ජනාධිපතිවරයාට බාර දුන්නාය. තලතා කීවේ 18 දෙනාගෙන් 15 දෙනෙක් අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් තිදෙනෙකුගේ පමණක් මරණ දඬුවම නීතිපතිවරයා ස්ථීර කර ඇති බවත්ය.


මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් පැමිණ සිටියේ වැඩබලන ඇමැති ඉරාන් වික්‍රමරත්නය. මුදල් ඇමැති මංගල විදේශගතව සිටියේය.


‘‘මේ වෙනකොට රේගු ආදායම් අඩුවෙලා. මේකට හේතුව අමාත්‍යංශ අකාර්යක්ෂමකමයි...’’ ඇමැති රවි කරුණානායක කීවේය.


‘‘එහෙම අකාර්යක්ෂමකමක් නෑ. අපි පිළිවෙළට හදාගෙන යනවා...’’ වැඩබලන ඇමැති ඉරාන් කීවේය.


‘‘එහෙනම් මොකද තවමත් කස්ටම් එකට ඩී.ජී. කෙනෙක් දාල නැත්තේ. තාවකාලික කෙනෙක් දාල නිසා ආයතනය කඩාවැටිලා...’’ රවි තවදුරටත් කීවේය.


ජල සම්පාදන මණ්ඩලය දිගින් දිගටම ලබන පාඩුව පියවා ගැනීම සඳහා වතුර බිල වැඩි කිරීමට යෝජනා කර තිබුණේ රාවුෆ් හකීම් ඇමැතිවරයාය. ඔහු ඒ සමගම ජල මණ්ඩලයේ පාඩුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ එස්.ආර්. ආටිගලගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ නිර්දේශ වාර්තාවක් ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. එහි යෝජනා කර තිබුණු මණ්ඩලය මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීමට එක්කෝ මිල ගාස්තු වැඩි කිරීමය. නැතිනම් මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව රුපියල් කෝටි 1200 ක් මණ්ඩලයට දිය යුතු බවට ද යෝජනා කර තිබිණි. ජල මණ්ඩලයේ වාර්ෂික ආද‌ායම බිලියන 22 ක් වුවද වියදම බිලියන 36 ක් බවත් ඉන් සියයට 50 ක්ම වැය වන්නේ සේවක වැටුප්වලට බවත් වාර්තාවෙන් පෙන්වා දී තිබිණි. කෙසේ වුවද ජල බිල වැඩි කිරීමේ යෝජනාවට ඇමැතිවරුන් විරුද්ධ වූයේ මේ වෙලාවේ එවැන්නක් කිරීමට ඉඩදිය නොහැකි බව කියමිනි.


මේ අතර සාකච්ඡාවට ලක්වූ තවත් ප්‍රධාන කරුණක් වූයේ සේනා දළඹු මර්දනය ගැනය. සේනා දළඹු මර්දනයට ගෙන ඇති පියවර ගැන පී. හැරිසන් ඇමැතිවරයා ද දිගු විස්තරයක් කළේය. ජනාධිපතිවරයා ද කියා සිටියේ මේ ගැන වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.


පිලිපීනයේ සිවුදින නිල සංචාරය නිමවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණියේ ගිය සති අන්තයේය. ජනාධිපතිවරයා සිය පිලිපීන සංචාරයට ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ලසන්ත අලගියවන්න, අංගජන් රාමනාදන්, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරුද එක්ව සිටියහ. ජනාධිපතිවරයාට පිලිපීනයේ දී ඉහළම රාජ්‍ය පිළිගැනීමක් ලැබුණ අතර පිලිපීන ජනාධිපතිවරයා විසින් පවත්වන ලද විශේෂ භෝජන සංග්‍රහයට පෙර එරට චිත්‍ර ශිල්පියෙකු විසින් අදින ආලේඛ්‍ය චිත්‍රයක් ද ජනාධිපතිවරයාට පිරිනැමිණි. ජනාධිපතිවරයාගේ රුව ඉතා මැනවින් ඇඳ තිබූ එම චිත්‍රට දුටු ජනපති මෛත්‍රී කීවේ තමාට එම සිතුවම ඇදි කලාකරුවා දකින්නට අවශ්‍ය බවය. පිලිපීන ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහය නිමවන්නට පෙර එම චිත්‍ර ශිල්පියා මෛත්‍රී හමුවට කැඳවූයේ මෛත්‍රීගේ ඉල්ලීම ඉටු කරමිනි. ජනාධිපතිවරයා තරුණයාගේ දක්ෂතාව අගය කරමින් ඔහුට තෑග්ගක් පිරිනමන්නට ද අමතක නොකළේය.


පිලිපීන සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා වෙනුවෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති නිල නිවසේදී විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැති අතර ඊට ජනාධිපතිවරයා ද මන්ත්‍රීවරුද සහභාගි වූහ. ඊළඟ සතියේ යෙදෙන සිංගප්පූරු නිල සංචාරය ගැන සඳහන් කරමින් මෛත්‍රී කීවේ තමා සිංගප්පූරුවට ගිය විට අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට එවන ලෙස සිංගප්පූරු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් ද කරන බවය. පිලිපීන සංචාරය නිමවා ජනාධිපතිවරයා ලංකාවට එන අතරේ හදිසියේම සිංගප්පූරුවට ගොස් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ සුවදුක් විමසා බලන්නට ද අමතක නොකළේය.


සිංගප්පූරුවේ පැවැති එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය පරිසර ඇමැතිවරුන්​ගේ සමුළුවේ පැවැති දේශනය පවත්වන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයකට සිංගප්පූරුවට ගියේ විශේෂ ආරාධානයක් පිළිගනිමිනි. ඉකුත් බද‌ාදා දහවල් සිංගප්පූරුව බලා ගිය ජනාධිපතිවරයා එරට ජනාධිපතිනියද බ්‍රහස්ප්‍රතින්ද‌ා හමු විය. සිකුරාද‌ා උදේ පරිසර සමුළුව ද අමතා සිංගප්පූරු අගමැතිවරයා ද හමු වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිතව සිටියේ සිකුරාද‌ා රාත්‍රියේය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ ලිපි ගොනුවක් ද ජනාධිපතිවරයා සිංගප්පුරු යද්දි රැගෙන ගිය බවට වාර්තා විය. එපමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ද ජනාධිපතිවරයා විසින් කැඳවා ගෙන යනු ලැබූ බවට ද ආරංචි පැතිර ගියේය. දැනගන්නට ඇති පරිදි ජනාධිපතිවරයා අර්ජුන මහේන්ද්‍රන් නඩුකටයුතු සඳහා මෙරටට ලබා දෙන ලෙස සිංගප්පූරු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවට ද වාර්තා විය.



අදහස් (0)

කොමිසමක් පත් කළාට ​ජනපතිට අර්ජුනගෙන් පැසසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31031 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13157 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 16 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 872 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 259 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site