IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


වතිකානයේ ශාන්ත පීතර මහ බැසිලිකාවේ සිවිලිමේ චිත්‍ර නිරාවරණයට අලුත් එළියක්

 

 

පසුගිය වසරේ වැඩිම සංචාරක පිරිසක් විසින් නරඹන ලද පෞරාණික ස්මාරකය ලෙස ජගත් මාපකයට අනුව මුලින්ම ලයිස්තුගතව ඇත්තේ රෝමයේ කොලෝසියම ය. එම වසරේ වතිකාන කෞතුකාගාරය සහ වතිකානයේ ශාන්ත පීතර මහා බැසිලිකාව නැරඹූ සංචාරක පිරිස ලක්ෂ හැටකට වැඩි බව ඉතාලි සංචාරක කටයුතු භාර අමාත්‍යාංශය වාර්තා කරයි. පහළොස්වැනි සියවසේදී එවකට ඉතාලියේ විසූ දක්ෂතම ශිල්පීන්ගේ (මයිකල් ආංජෙලෝ, බෙර්නීනි, රෆඑල්ලෝ වැනි) ශිල්පීය දායකත්වයෙන් නිර්මාණය වූ ශාන්ත පීතර බැසිලිකාව, දේවස්ථානයකට වඩා දැවැන්ත කලාගාරයකි. එහි ගෘහනිර්මාණ ශිල්පය, අභ්‍යන්තර ප්‍රතිමා සහ මොසැයික් සැරසිලි තවමත් සංචාරකයා විශ්මයට පත්කරයි.   
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාව අභ්‍යන්තරයේ පොළොව මට්ටමේ සිට මීටර් එකසිය තිහක් දක්වා උපරිමයකට එසැවී ඇති බුබ්බුලාකාර කොත් සහිත සීලිම, වර්ණවත් මොසැයික් චිත්‍රවලින් සහ මෝස්තරවලින් පිරී ඇත. වර්ග මීටර් දසදහසක පරාසයක් පුරා විහිද ඇති මෙම මොසැයික් චිත්‍ර සහ මෝස්තර ලොව එකම ස්ථානයකදී දැකගත හැකි විශාලම මොසැයික් සැරසිල්ල බව පිළිගැනේ. රෆාඑල්ලෝ සහ මයිකල් ආංජෙලෝ වැනි එවකට විසූ සුප්‍රසිද්ධ සිත්තරුන්ගේ චිත්‍ර සටහන්වලට අනුව මොසැයික් ශිල්පීන් විසින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රවල පත්‍ර ඉරු මත ඇඳි මුල් පිටපත් රාශියක්, මහජන ප්‍රදර්ශනය සඳහා වතිකාන කෞතුකාගාරයේ තවමත් සුරක්ෂිතව තැන්පත් කර ඇත.   
වතිකාන ශාන්ත පීතර මහා බැසිලිකාවේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ඇති මීටර් හතළිස් දෙකක විශ්කම්භයකින් යුත් බුබ්බුලාකාර පියස්ස පමණක් මොසැයික් ක්‍රමයේ චිත්‍රයෙන් සැරසීම සඳහා වසර පහළොවක් ගතවී ඇත.   


ඇස් මට්ටමින් මීටර් එකසිය තිහක් පමණ උසකින් පිහිටි ශාන්ත පීතර බැසිලිකාවේ සිවිලිමේ ඇති මොසැයික් චිත්‍ර සහ මෝස්තරවල අලංකාරය අවශ්‍ය ලෙස ආලෝකමත් කිරීමේ දුෂ්කරතාව හේතුවෙන්, පසුගිය වසර පන්සියයක කාලය තුළ ඒවා නරඹන්නාට පැහැදිළිව දැකගැනීමට අපහසුවෙන්නට ඇති බව වතිකානය කියයි.   


වර්ග මීටර් දසදහසක් පමණ වසා සිටින මෙම දැවැන්ත මොසැයික් චිත්‍ර සහ මෝස්තර විදුලි බුබුලු මගින් ආලෝකවත් කිරීමේදී, දෘෂ්ඨිමය වශයෙන් ඒවා   


චිත්‍රවල අලංකාරයට බාධාවක් නොවිය යුතුව තිබුණාක් මෙන් ම, විදුලි බුබුලුවලින් නික්මෙන ආලෝකධාරා මොසැයික් මෝස්තරවල වර්ණවලට අනතුරු සහගත නොවිය යුතුව ද තිබුණි. ඒ සියල්ල සලකා මෙතෙක් භාවිතා කරන ලද විදුලි ආලෝක රටාව, සිවිලිම පුරා විශාල සෙවනැලි නිර්මාණය කිරීමට සමත්වී තිබුණි. මේ හේතුවෙන් බැසිලිකාවේ දැවැන්ත සිවිලිමේ අලංකාරය ඇතිසැටියෙන්ම නරඹන්නාට පෙනුණේ නැත.   


මේ වසරේ ජනවාරි මාසයේ සිට වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සිවිලිම නවීන ක්‍රමවේදයකට අනුව ආලෝකමත් කර ඇත. වසර එකහමාරක දීර්ඝ ක්‍රියාවලියකින් පසුව, මද්දහනේ හිරු එළිය බැසිලිකාව අභ්‍යන්තරයේ සිවිලිම මත පතිතවී ඇති ආකාරයෙන් දැන් සංචාරකයාට එම කලා නිර්මාණය දැකබලාගත හැකිය.   


ශාන්ත පීතර බැසිලිකාවේ සිවිලිම ඒකාලෝක කිරීම සඳහා විශේෂිතවූ විදුලි බුබුලු අවම විදුලිබල දහන ලෙඩ් තාක්ෂණයෙන් නිපදවා ඇති අතර, මෙම විදුලි බුබුලු එක්ලක්ෂයක් වතිකාන පල්ලියේ සිවිලිම ඒකාලෝක කිරීම සඳහා යොදාගෙන ඇත. සැරසිලිවල අලංකාරයට බාධා නොවෙන අයුරින් මෙම විදුලි බුබුලු පියවි ඇසට නොපෙනෙන ආකාරයෙන් සඟවා තබා ඇති අතර, එම විදුලි බුබුලුවල ආලෝකය මොසැයික් වර්ණවලට කිසිසේත්ම අහිතකර නොවෙන බවට ඔස්රාම් ආයතනය සහතිකයක් නිකුත්කර ඇත.   


ශාන්ත පීතර බැසිලිකා සිවිලිම ඒකාලෝක කිරීමේ ව්‍යාපෘතිය කෙතරම් මිලවීද යන්න වතිකානය හෙළි නොකරයි. විශේෂ දේවමෙහෙයන් පවත්වන අවස්ථාවල පමණක් බැසිලිකාව මෙලෙස ඒකාලෝක කෙරෙනු ඇතැයි වතිකාන නිල නොවෙන ආරංචිමාර්ග පවසයි.   


නව ආලෝකකරණයට පෙර සහ පසු බැසිලිකාව තුළ අවස්ථාවන් කීපයක් ඡායාරූපයන්ගෙන් දැක්වේ.   

 


රංජිත් කොස්තා.   
රෝමය, ඉතාලිය.   



අදහස් (0)

වතිකානයේ ශාන්ත පීතර මහ බැසිලිකාවේ සිවිලිමේ චිත්‍ර නිරාවරණයට අලුත් එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site