මානව සභ්‍යත්වයේ එක් වැදගත් මං සළකුණක් වෙන්නේ මිනිසා විසින් තමන්ට අවශ්‍ය වේලාවට ගින්දර නිපදවා ගැනීමට ලද දැනුම ය. ගින්දර මගින් ආහාර පිසගැනීම මදින්මද පරිණාමය වූවා මිස එකවරම සිදුවූවා නොවේ. භෞමික හා දේශගුණික විවිධත්වයට අනුව මිනිසාගේ ආහාර රටාවේද වෙනස්කම් සිදුවිය. එහෙත් ගෝලීයකරණයවීමත් සමඟම අද වෙනවිට කෑම මේසය ජාත්‍යන්තර තත්ත්වයකට පත්ව ඇත. සූපවේදය කුතුහලය සමඟ ගමන් කරමින් අත්හද‌ාබැලීම් තුළින් විවිධ ආහාර අසීමිත තොගයක් මිනිසා විසින් නිපදවාගෙන ඇතුව ද, අද ද අප ආහාර අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කරන්නේ මීට වසර මිලියන ගණනකට පෙර වනවාසීව සිටියදී පිසීමෙන් තොරව අනුභව කරන ලද දේ මය. 


ආදිමයා ආහාරයට සුදුසු දේ උගත්තේ සතුන්ගෙන් බව මානව විද්‍යාඥයෝ කියති. ඒ අනුව ධාන්‍ය, අල, කොළ, මස් මාංශ පමණක් නොව කෘමීන් අනුභවය පවා ආදිමයා සතුන්ගෙන් උගත්තේය. භෞමික හා දේශගුණික විවිධත්වය හේතුවෙන් මිනිසාගේ ආහාර රටාවේ ද වෙනස්කම් සිදුවුවද, විවිධ හේතූන් මත අද වෙනවිට මේ කඩඉම් බිඳවැටී ජාත්‍යන්තර ආහාර රටාවකට මිනිසා හුරුවෙමින් සිටී. එහෙත් ඇතැමෙකු සම්ප‍්‍රදායික ආහාරයට මිස ආගන්තුක ආහාරවලට මනාපයක් දක්වන්නේ නැත. තම රුචිඅරුචිකම් සාධාරණීකරණය කිරීම සඳහා ද මිනිසාට කරුණු කාරණා එමට ඇත. නව තාක්ෂණයට පිං සිදුවෙන්නට අද ලොව එක කොණක පිසෙන ආහාරයක් තවත් කොණක සිට එලෙසින්ම අනුකරණය කිරීමේ හැකියාව මිනිසාට ලැබී ඇත. කුතුහලය නිසාම මේ සියලු මාර්ග ඔස්සේ ආගන්තුක ආහාර සොයා යන්නෝ ද වෙති. 


පසුගිය වසරේ ඉතාලියේ මිලානෝහි පැවති එක්ස්ෆෝ ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයට සහභාගී වූ ඇතැම් අප‍්‍රිකානු හා ආසියාතික රටවල් තමන්ටම ආවේණික ආහාර රස බැලීමේ අවස්ථාව ප‍්‍රදර්ශනය නරඹන්නන්ට ලබා දුනි. ගෝනුස්සන්, පළඟැටියන්, කඳන් පණුවන් රැහැයියන් හා වෙනත් කෘමීන්ගෙන් සකසන ලද ආහාරද මෙම බොජුන්හල්වල ආහාර වට්ටෝරුවට අැතුළත් කර තිබුණු විට මහත් ආන්දෝලනයක් පැනනැගුන ද, රස බැලීමේ මුවාවෙන් වුවද ඒ ආහාර අනුභව කරන ලද පිරිස විශාල බව පසුව වාර්තා විය. 
මානව ආහාර සඳහා විවිධ කෘමි වර්ග ද සර්පයන් ද පණු වර්ග ද ඇතිකිරීම, 
ප‍්‍රමිතියකට අනුව ගබඩාකර තැබීම සහ ආහාර ද්‍රව්‍යයක් ලෙස හෝ නිමි (කෑමට සූද‌ානම්) ආහාර ලෙස අලෙවිය ද, 2018 ජනවාරි මස පළමුවැනිද‌ා සිට 
ක‍්‍රියාත්මක වෙන පරිදි පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කළ බව යුරෝපා කොමිසම වාර්තා කර ඇත. මෙම ප‍්‍රකාශයෙන් පැය කීපයක් ගතවීමටත් පෙර යුරෝපා කොමිසමේ තීරණයට පක්ෂව හා විපක්ෂව විවිධ පාර්ශ්වයන් තම අදහස් දැක්වීම අරඹා ඇත. 
ආහාර ද්‍රව්‍යයක් ලෙස කෘමීන්, සර්පයන් හා පණුවන් ඇතිකිරීම හා අලෙවිය සම්බන්ධව යුරෝපා ආර්ථික හා සාමාජික සමීක්ෂණ ආයතනය විසින් තකහනියේ කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත්තේ, යුරෝ්පයේ 
ජනග‍්‍රහණයෙන් සියයට පනස් හතරක (54‍%) ප‍්‍රතිශතයක් යුරෝපා කොමිසමේ මෙම තීරණයට තම පිළිකුල පළ කරන බවය. සියයට විසිහතරක ප‍්‍රතිශතයක් රස බැලීමේ මුවාවෙන් හෝ කෘමීන්, පළඟැටියන් සහ පණුවන් කෑමට අකමැත්තක් නැති බව ප‍්‍රකාශ කර ඇත. සියයට දහසයක ප‍්‍රතිශතයක් පවසා ඇත්තේ මෙම ආගන්තුක ආහාර ගිජු ලෙස බුදීමට මඟබලා සිටින බවය. 


දෙවැනි ලෝක මහා යුද්ධයේදී පැතිර ගිය දුර්භික්ෂය හේතුවෙන් යුරෝපයේ ඇතැම් රටවල ජනතාව මීයන්, ගොළුබෙල්ලන් පවා ආහාරයට ගත් බව පැවසේ. අදද යුරෝපයේ ඇතැම් රටවල ගොළුබෙල්ලෝ රසවත් ආහාරයක් ලෙස කෑම මේසය සරසති. 
ආහාරය සඳහා යුරෝපයේදී පහසුවෙන් සොයාගත හැකි කෘමීන්, සර්පයන් හා පණුවන් ලයිස්තුවක් සමඟ, ඒවා පිසගන්නා ආකාරයද දැක්වෙන ආහාර වට්ටෝරු පොත් ලිවීම දැනටමත් ඇරඹූ බව සූපවේදය පිළිබඳව පොත් ලියනු ලබන ලේඛකයන් කීපදෙනෙකුම පවසා ඇත. 


ආහාර පිළිබඳව පර්යේෂණ කරනු ලබන රසායනාගාර මේ දින කීපය තුළ කෘමි ආහාර පිළිබඳව කරන ලද පර්යේෂණ වාර්තා කීපයක් ද දැනටමත් නිකුත්වී ඇත. මේ අනුව හොඳින් වැඩුණු පළඟැටියෝ ග‍්‍රෑම් සියයක අඩංගු ප්‍රෝටීන් ප‍්‍රමාණය ග‍්‍රෑම් විසි අටකි. පටපණුවෝ ග‍්‍රෑම් සියයක ඇති ප්‍රෝටීන් ප‍්‍රමාණය ග‍්‍රෑම් දාහතකි. රැහැයියන් ග‍්‍රෑම් සියයක ප්‍රෝටීන් ග‍්‍රෑම් විසිපහක් ඇත. එහෙත් පොකිරිස්සෝ ග‍්‍රෑම් සියයක අඩංගුව ඇත්තේ ප්‍රෝටීන් ග‍්‍රෑම් දහඅටකි. මේ අනුව කෘමීන් හා පණුවන් ප්‍රෝටීන් බහුල ආහාර ලෙස ලයිස්තුගත වේ. 


දුමෙන් වේළාගත් පත්තෑයෝ චීනයේ ද, ගස් කුරුමිණි ව්‍යංජනය ප‍්‍රංශ ගයනාවේ ද, කඳන් පණුවන්ගෙන් සකසාගත් බැදුම තායිලන්තයේ ද, මැක්සිකෝවේ දිමියන් බැදුම ද ප‍්‍රණීත කටගැස්මක් බව ප‍්‍රකාශිතය. මීමැසි පිළවුන් ආහාරය අප රට ඇතැමුන් ප‍්‍රියකරති. ඌරුමී මස් ව්‍යංජනයේ රස දන්නෝ අපේ රටේ ද නැත්තේ නොවේ. 


දාහත්වැනි ශතවර්ෂයේ ලතින් ඇමෙරිකානු රටවලින් තක්කාලි සහ අර්තාපල් යුරෝපයට සංක‍්‍රමණය වූ විටද මහත් ආන්දෝලනයක් පැන නැගුනු බව යුරෝපා ඉතිහාසය කියයි. එහෙත් අද මධ්‍යධරණී ආහාර වේලට තක්කාලි සහ අර්තාපල් නැතුවම බැරිය. කෘමීන් සර්පයන් හා පණුවන් ආහාරයට ගැනීම පිළිබඳවද අද දක්වන පිළිකුල, නුදුරු අනාගතයේදි මඟහැරී යන බව ඇතැමුන්ගේ මතයයි. 
කෘමිවර්ග සර්පයන් හා පණුවන් ආහාර වේලට එක්කර ගැනීම පිළිබඳව ලෝක ආහාර සංවිධානයේ වාර්තාවන් පරීක්ෂා කර බැලීමේදී හෙළිදරව් වූවේ, ලෝක ජනග‍්‍රහණයෙන් බිලියන දෙකක පිරිසක් විවිධ කෘමීන් සර්පයන් හා පණුවන් වර්ග දෙදහසක් පමණ විවිධ ආකාරයට සකසා ආහාරයට ගන්නා බව ය. 
 
රන්ජිත් කොස්තා. 
රෝමය, ඉතාලිය.