මැදපෙරදිග පිහිටි සමස්ත රට වල සාමාන්‍ය දේශපාලන සම්ප්‍රදාය වී ඇත්තේ පිය පුතු උරුමය මත රට කරවීමය. එම රටවල කිසිමදාක  ජනතාව විසින් තෝරා පත් කර ගන්නා නායකයෙකු රටින් බිහිවන්නේ නැත. සෞදි අරාබියද එසේමය.


වර්තමානයේ සෞදි අරාබියට නායකත්වය දෙන සෞදියේ සල්මාන් රජු මීට අවුරුද්දකට  කලින් මොහොම්මද් බින් සල්මාන් කුමරු සෞදි රජ කිරුළේ මීළඟ උරුමක්කාරයා ලෙස නම් කළේය. අසූ දෙවැනි වියේ පසුවන සල්මාන් රජු මොහොම්මද් බින් සල්මාන් කුමරුගේ පියාය. සල්මාන් රජු මොහොම්මද් බින් සල්මාන් කුමරු ඔටුන්න හිමි කුමාරයා ලෙසින් පත් කිරීමට අමතරව ඔහුට බලතල රැසක් ද ලබාදුන්නේය. මේ ඔටුන්න හිමි කුමරා දෙසට වඩාත් අවධානය යොමුවීමට පටන් ගනු ලැබුවේ එම තීරණයත් සමඟය. 


1985 වසරේ අගෝස්තු 31 වැනිදා උපන් මොහොම්මද් බින් සල්මාන් කුමරු තවමත් පසුවන්නේ තිස් පස් වැනි වියේ වුවද ඔහු පසුගිය වසරක කාලය තුළ දී දැඩි සාම්ප්‍රදායික සහ ආගමික පසුබිමක් ඇති සෞදි අරාබිය තුළ විප්ලවීය ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමත් සමඟ ලොව පුරා කාගෙත් අවධානය යොමු වූ දේශපාලන චරිතයක් විය.


රිය පැදවීමට සහ සංගීත ප්‍රසංගවලට සහභාගී වීමට නොහැකි වන අයුරින් කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කළ සල්මාන් කුමරු චිත්‍රපට ගෙන්වීමටත් සිනමා ශාලා ස්ථාපිත කිරීමටත් අවසර දුන්නේය. එමෙන්ම ඔහු දූෂණයට එරෙහිව නව ඒකකයක් ස්ථාපිත කරමින් දූෂිතයන්ට එරෙහිව පියවර ගත්තේය.


සෞදියේ වත්මන් පාලක සල්මාන් රජතුමන්ගේ තෙවැනි බිරියට දාව උපත ලැබූ සෞදි රජ පවුලේ උරුමක්කාරයා වන මොහොම්මද් බින් සල්මාන් කුමරු එරට මූලික අධ්‍යාපනය ලැබූ අතර පසුව කින්ග් සෞද් විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය ලබා නීති උපාධියද හිමිකර ගත්තේය. සිය උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව එරට පෞද්ගලික අංශයේ රැකියාවකට එක්වූයේය. පසුකාලීනව සිය පියාගේ අඩිපාරේ යමින් අවුරුදු 24 ක්ව තිබියදී 2009 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට එළැඹියේ එරට තීන්දු තීරණ අනුමත කරනා සෞදි අමාත්‍ය මණ්ඩලයේ විද්වත් මණ්ඩලය හරහාය.


2011 වසරේදී සෞදියේ රජු වූ සුල්තාන් බින් අබ්දුල්අසීස් මරණයට පත් වීමත් සමඟ වත්මන් සල්මාන් රජතුමන්ට රජ කිරුළ හිමි වූයේය. එතැන් පටන් මොහොම්මද් බින් සල්මාන් කුමරු සිය පියාගේ පෞද්ගලික උපදේශකවරයා බවට පත් වන්නේය. පසුකාලීනව ක්‍රමක්‍රමයෙන් අගමැති ධුරයද, එරට ආරක්ෂක අමාත්‍ය ධුරයද හෙබවීමට තරම් වාසනාවන්ත වූයේය.


අඩු වයසකින් එරට රජ කිරුළට හිමිකම් කියන ඔටුන්න හිමි කුමරාට විවේචනයන් හි අඩුවක්ද නොමැති තරම්ය. ඔහු ඇමෙරිකානු ගැත්තෙක් බවට සෞදි විරෝධීහු කියා සිටිති. කටාරය හුදකලා කිරීමට ගල්ෆ් සහයෝගිතා සංවිධානය පියවර ගනු ලැබුවේ ඔහුගේ වුවමනාවන් මත යැයි කටාර් රාජ්‍යය හැමවිටම චෝදනා කර සිටියේය.


සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රශංසා මෙන්ම දොස් ද එල්ල වී තිබේ. ඔහු මේ වනවිට සෞදි අරාබිය තුළ ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. තම පළමු විදෙස් සංචාරය ලෙස බි්‍රතාන්‍යයේ සංචාරයක යෙදුණු ඔටුන්න හිමි මොහොම්මද් බින් සල්මාන් කුමරු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමු වී සාකච්ඡා පැවැත්වීමටද අමතක නොකළේය.


මෙම හමුවේදී සෞදියේ සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන ඉරානය සම්බන්ධයෙන් සෞදි සමාජයේ සිදු කරන්නා වූ හා කෙරෙමින් තිබෙන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් 32 හැවිරිදි සෞදියේ ඔටුන්න හිමි කුමරු ඇමෙරිකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය. ඊට අමතරව සෞදියේ විදේශ ප්‍රතිපත්තිය සහ යේමනයේ යුද්ධය සම්බන්ධයෙන් ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර දීර්ඝ සාකච්ඡා පැවැත්විණි.
තම පළමු නිල ඇමෙරිකා සංචාරයේදී සෞදියේ සල්මාන් කුමරු ගූගල් සමාගම ඇතුළු එරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් හමුවෙමින් සෞදි අරාබිය තුළ ව්‍යාපාර කිරීම ප්‍රවර්ධනය කිරීමට සූදානමින් සිටින බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. 


ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටින අතරවාරයේදී සෞදියේ ඔටුන්න හිමි කුමරු පළමු වරට ඇමෙරිකා රූපවාහිනි නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් විය. සී.බී.එස් රූපවාහිනි නාළිකාවේ මිනිත්තු 60ක වැඩසටහනට එක්වෙමින් ඔටුන්න හිමි කුමරු අපූරු අදහස් කිහිපයක් දැක්වීය.


යේමන යුද්ධය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී සෞදි කුමරු ගුවන් ප්‍රහාර සාධාරණීය කරමින් කියා සිටියේ “කැරැලිකරුවන් සෞදි අරාබියේ රියාද් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කරනවා. උදාහරණයක් විදියට ඇමෙරිකාවේ මෙක්සිකෝ නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිචාර නොදක්වා ඉන්නවද?” යැයි හෙතෙම පෙරළා විමසීය. යේමන යුද්ධය නිසා මියගිය පිරිස සම්බන්ධව සල්මාන් කුමරු කනගාටුව පළ කළේය. “මියයන පිරිස සම්බන්ධයෙන් කනගාටුවක් තියෙනවා. එහෙත් එහි වගකීම සතුරන් බාරගත යුතු” යැයි සල්මාන් කුමරු කීය.


“සටන්කාමීන් මේ මානුෂීය අවස්ථාව ඔවුන්ගේ වාසියට යොදාගන්නවා. ජාත්‍යන්නතර ප්‍රජාවගේ අනුකම්පාව දිනාගන්න මොවුන් මෙය අවස්ථාවක් කරගෙන. මානුෂීය ආධාර යැවීම නතර කර ඔවුන් සාගතයක් හා මානුෂීය අර්බුදයක් නිර්මාණය කරලා” යැයි සල්මාන් කුමරු කීවේය.


කාන්තාවන් සම්බන්ධයෙන් පනවා තිබූ නීතිරීති සම්බන්ධයෙන් මිනිත්තු 60ක වැඩසටහනේ නිවේදකයා විමසූ විට සල්මාන් කුමරු කියා සිටියේ “ස්ත්‍රීන් හා පුරුෂයන් මිශ්‍ර වීම, ඔවුන්ගේ වෙනස හඳුනාගන්න බැරි, වැඩ කරන ස්ථානයේ කාන්තාවන් හා පුරුෂයන් එක්ව වැඩ කිරීම තේරුම් ගැනීමට නොහැකි අන්තවාදීන් සිටිනවා. ඔවුන් කාන්තාවන් හා පිරිමින් එකට වැඩ කිරීම නවත්වන්න කටයුතු කරනවා. අද අපේ ඇතැම් පිරිස් පනවන නීති ඒ වගේම අදහස් මහම්මද්තුමාගේ කාලයට වඩා බොහෝ පරස්පරයි. අපි හැමෝම මිනිස්සු. අපි කා අතරේවත් වෙනසක් නැහැ” යැයි සල්මාන් කුමරු කීය.


ප්‍රතිසංස්කරණ සිදු කරන අතරවාරයේදී සල්මාන් කුමරු එරට ආගමික පොලිසියේ බලතල පවා සීමා කිරීමට ද කටයුතු කළේය. මෑතක් වනතුරුම මෙම පොලිසිය සම්පූර්ණයෙන් සිරුර වැසෙන සේ ඇඳුම් පැලැඳ නොසිටි කාන්තාවන් අත්අඩංගුවට ගත්තේය.


“ෂරියා නීතියේ කාන්තාවන් මෙන්ම පිරිමින් ද ඇඳුම් ඇඳිය යුතු ආකාරය පැහැදිලිව සඳහන් කර තිබෙනවා. පිරිමින් මෙන් කාන්තාවන් ද වැදගත් හා ගෞරවනීය ආකාරයෙන් ඇඳුම් ඇඳිය යුතුය. කෙසේ නමුත් කළු ඇඳුමකින් සම්පූර්ණයෙන් හිස වසා ගැනීම හෝ සම්පූර්ණ කළු ඇඳුම් ඇඳිය යුතු යැයි එහි සඳහන් වෙන්නේ නැහැ. ගෞරවනීය, වැදගත් හා වීනිත ඇඳුමක් ඇඳීම තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය තිබෙන්නේ කාන්තාවන්ට” යැයි සල්මාන් කුමරු කීවේය.


වසර 1979 සිට සෞදි අරාබිය දැඩි සම්ප්‍රදායවාදී ඉස්ලාමික පදනමකින් පාලනය වූ බව සෞදි කුමරු මෙම සම්මුඛ සාකච්ඡාවේදී පිළිගත්තේය. “අපේ වින්දිතයෝ. පීඩාවට පත්වුණා. විශේෂයෙන්ම මගේ පරම්පරාව ඉරාන විප්ලවය, මක්කම මහ පල්ලිය ආක්‍රමණය යනාදි සියල්ලේ පීඩිතයෝ. මේ සෞදි අරාබිය නෙමෙයි. මා ඔබේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. ඔවුන්ගේ ජංගම දුරකථන භාවිත කරලා 70 දශකයේ 60 දශකයේ සෞදි අරාබිය ගැන අන්තර්ජාලයෙන් තොරතුරු බලන්න. එම කාලයේ පින්තූර සෞදි අරාබිය ගැන කියයි. ගල්ෆ් කලාපයේ අනෙක් රටවල් වගේම අපි සාමාන්‍ය ජීවිතයක් ගෙන ගියා. කාන්තාවන් රිය පැදවූවා. සෞදි අරාබියේ සිනමා ශාලා තිබුණා. කාන්තාවන් හැම තැනම වැඩ කළා. අපි සාමාන්‍ය විදියට ජීවත් වුණා. වසර 1979 තෙක් අපි සාමාන්‍ය පරිදි ජීවත් වුණා. කලාපයේ අනෙක් රටවල් වගේම අපි සංවර්ධනය වුණා” යැයි සෞදි කුමරු කීවේය.
දූෂණයට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞදි කුමරු මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ නීති විරෝධීව උපයාගත් ඇමෙරිකා ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් අපි නැවත අය කර ගත් බවය.
තමන්ගේ පෞද්ගලික ධනය සම්බන්ධයෙන් සල්මාන් කුමරු මෙසේ කීය. “මම පොහොසත් මිනිහෙක්. මම දුප්පත් මිනිහෙක් නෙමෙයි. මම ගාන්ධි නෙමෙයි. මම මැන්ඩෙලා නෙමෙයි. හැබැයි මම මගේ පෞද්ගලික ධනයෙන් කොටසක් පුණ්‍යමය කටයුතු වෙනුවෙන් වැය කරනවා. මගේ ධනයෙන් සියයට 51ක් ජනතාව වෙනුවෙන් වියදම් කරනවා. ඉතිරි සියයට 49 මගේ වියදමට” යැයි ද සල්මාන් කුමරු කීවේය.


සල්මාන් රජුගේ අභාවයෙන් පසු සෞදි රාජධානියේ කිරුළ හිමිවන්නේ මොහොම්මද් බින් සල්මාන් කුමරුටය. එසේ වුවහොත් මේ තරුණ කුමරු ඉදිරි අඩසියවසක කාලය හෝ ඊට වැඩි කාලයකට සෞදි රාජධානිය පාලනය කිරීමට අවස්ථාව උදා වනු ඇත.

 

හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හමුවී...

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමග

චාල්ස් කුමරු සහ පුත් හැරී කුමරු මුණගැසී...

හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා හමුවී...

මයික්‍රොසොෆ්ට් සභාපති බිල් ගේට්ස් හමුවී...

ෆේස් බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සමග

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි.