අධි උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී.
මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියකු වන ඔහු නමින් සෙනරත් සමන්තිලක ය. දැනට සිදුකෙරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 ත් අතර අධි උෂ්ණත්වයක් යටතේ තේ දළු වියළා ගැනීමය. එහිදී තේ දළුවල ඇති රසය, ගුණය මෙන්ම නියමිත වර්ණයද වෙනස් වෙන අතර මෙම නව වායු සමීකරණ තාක්ෂණය යටතේ නිපදවූ යන්ත්‍රයෙන් තේවල ඇති ගුණාංග නිසි පරිදි ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.
ලොව කිසිම නිෂ්පාදයකයකුට සොයාගැනීමට නොහැකිවූ මෙම තාක්ෂණය තමාට සොයාගැනීමට හැකිවූයේ වසර 10 ක් පමණ සිට තේ කර්මාන්තයේ නියැළීමත් ඒ හා බැඳුණු නව පර්යේෂණ සොයායෑම බවත් සෙනරත් පවසයි.
‘අපනයන බෝගයක් වන තේ වලින් අපට විශාල විදේශ විනිමයක් රටට ගෙන්න පුළුවන්. එහෙත් එහි නියමිත රසය සහ ගුණාංග නොමැති විට විදේශ වෙළෙඳපොළ එය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පවා පත්වෙන්න පුළුවන්. දැනට සිදුකරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 අතර ඉහළ උෂ්ණත්වය පරාසයකින් තේ දළු වියළා ගැනීමයි. එහිදී ස්වාභාවිකව නැවුම් ගුණාංගවල ගැබ් වෙලා තියෙන අතිශය සංවේදී සහ සංකීර්ණ රසායනික ලිනලෝල්, ජෙරනියල්, ෆීනයිල් වැනි සංයෝග විනාශයට පත්වෙනවා. මේ ස`දහා විසඳුමක් ලෙස වායු සමීකරණ තාක්ෂණය උපයෝගීකරගෙන තේවල සැඟවුණ රසය හා ගුණාංග එලෙසින්ම ආරක්ෂා කරගැනීමට හැකිවන යන්ත්‍රයක් නිපදවීමට මට හැකිවුණා‘
‘මෙම සුවිශේෂී යන්ත්‍රය ලංකාවේ නිෂ්පාදනය කළත්, බොහෝ තාක්ෂණික හා ඉලෙක්ට්‍රෝනික උපාංග විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවුණා. මෙම යන්ත්‍රයෙන් කෙරෙන්නේ ශීත සහ මද උණුසුම් වායු සම්මිශ්රණක් මගින් තේ ද`ඵවල ඇති ජලය ඉවත් කිරීම හෙවත් තේ දළු ‘විජලනය’ කිරීමයි. සෙල්සියස් අංශක 55 ට අඩු උෂ්ණත්වයක් යටතේ තේ දළු විජලනය කිරීම මෙම යන්ත්‍රයේ ඇති විශේෂත්වයි. මෙම යන්ත්‍රයෙන් පැයකට තේ දළු කිලෝ 25 ක් පමණ වියළා ගැනීමට හැකිවෙනවා. එමගින් තේවල ඇති රසය නොඅඩුව ලබාගන්න පුළුවන්. එය අප හඳුන්වන්නේ ‘වර්ජින් ටී’ ලෙසයි. පිළිකා නැසීම, දියවැඩියාව පාලනය, ආතතිය අඩුකිරීම, ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට වගේම ආහාර රුචිය වැඩිකිරීමටත් මෙම වර්ජින් ටී ඉවහල් වෙනවා.’’
‘මෙවැනි උසස් තාක්ෂණයක් තුළින් අපේ තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකිරීම මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයීමට අපට හැකිවෙනවා. එමෙන්ම දැනට තේ දළු වියළීමට භාවිත කරන විශාල උදුන්වලට දර සපයාගැනීමට ඇති අපහසුතාවද ම`ග හැරෙනවා. දැව පිළිස්සීම තුළින් සිදුවන පාරිසරික විනාශයද අවම කරගැනීමට හැකිවෙනවා‘
‘මෙම නිර්මාණය අත්හදා බැලීමේදී තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විශාල සහයෝගයක් ලබාදුන්නා. තායිවානය සහ ඉන්දියාව මේවන විට මෙවැනි යන්ත්‍රයක් නිපදවා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම වායු සමීකරණ තාක්ෂණයෙන් සහ වායු සම්පීඩක තාක්ෂණයෙන් දැව පදම් කිරීමේ යන්ත්‍රයක් සහ නැවුම් පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණද මා නිර්මාණය කර තිබෙනවා. දැනටමත් මා නිර්මාණය කළ සමහර යන්ත්‍රෝපකරණ කර්මාන්තකරුවන් භාවිත කරනවා‘ යැයි සෙනරත් මහතා පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ලෝකයට සම්පතක්! ලංකාවේ මිනිසුන්ට ඔබේ වටිනාකම අවබෝධවේවායි පතමි. සුබ පැතුම්! (නි)
ඉතා වටිනා සොයාගැනීමක්. ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
වැඩක් නැහැ. මහන්සිය විතරයි. ඇමතියෙක් කොමිස් ගහලා නවත්වල දායි. මිනිසසු අන්දලා වී ගොවිතැන විනාශ කරලා දැන් හාල් මිල පේනවනේ (නි)
බොහොම අගේ කාලෝචිත නිර්මාණයක්. (ම)
විශිෂ්ට සොයා ගැනීමක් (බ)
බලනකොට අපේ රටේ මොනතරම් දක්ෂයෝ ඉන්නවද (නි)
සැබෑ නිර්මාණකරුවෙක්. අන්තිමට රජයෙන් ආධාර ඉල්ලලා නැති මෑත කාලයේ කලාතුරකින් දැකපු නිර්මාණකරුවෙක්. එ්කෙන්ම පේනවා මේ නිර්මාණය සාර්ථක සහ ඉල්ලුමක් ඇති එකක් බව. (නි)
මේක අලුත්ම අලුත් සොයාගැනීමක් වුණත් නොවුණත් මෙවැනි නිෂ්පාදනයක් අපේම රටේ නිපදවීම තුළින් එමඟින් නිපදවෙන නිෂ්පාදන තරඟකාරී මිලකට අලෙවි කළ හැකිවීම නිසා තව තවත් මෙවැනි නිපැයුම් බිහිකිරීමට උනන්දු කළයුතුයි. එමෙන්ම ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කරගැනීම ඉතාම අත්‍යවශ්‍ය කරුණක්. දැනටමත් ලෝකයේ මෙවැනිම ෆරිසර් ඩ්‍රයර් නමින් උපකරණයක් යොදාගෙන ඉතා ඉහළ තත්වයේ කෝපි නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම ජර්මනිය, ස්වීඩනය, ජපානය, වැනි රටවල් මෙම තාක්ෂණයේ පෙරමුණේ සිටිනවා. ඉක්මනින්ම ඔබේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රයක් ලබාගන්න. (නි)
සෙල්සියස් අංශක ඍණ 50ත් 85ත් අතර අඩු උෂ්ණත්වයක් සහ ඉතා අඩු පීඩනයක් යටතේ විජලනය කිරීමේ උපකරණ ලංකාවේ ජීවතාක්ෂණික විද්‍යාගාරවල දැනට තියෙනවා. නමුත් එම ක්‍රමය වියදම් අධිකයි. සෙනරත් මහතාණෙනි, ඔබ භාවිතා කරන්නේ සෙල්සියස් අංශක ඍණ 55ක උෂ්ණත්වයක් නේද? අඩු වියදමකින් පැයකට තේ දළු කිලෝ 25 ක් පමණ වියළා ගැනීමට හැකි නම් ඔබේ යන්ත්‍රය ඉතා උසස්. මේ ක්‍රමයට වියලන තේ වල රස සහ ගුණය වෙනස් නිසා විශේෂ ඉල්ලුමක් ඇතිවිය හැක. ඔබට සුභ පැතුම්. (නි)
බන්දුල ගුණසේකරගේ පම්පෝරිය වැඩක් නෑ. උපාධි, ඩිප්ලෝමා අරගෙන පම්පෝරි ගහන අය තමය් වැඩිපුර ඉන්නේ. සෙනරත් සමන්තිලක වගේ වැඩක් කරලා නම දාගන්න. (බ)
මමත් මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරික්, මේ නිර්මාණය ඉතාමත් අගනා දෙයක්. ඔබට සුභ පැතුම්. මෙයට තව අඩු පීඩනය යොදා ගැනීමෙන් මෙම යන්ත්‍රයේ තේ වියලීම කාර්යක්ෂම කර ගන්න පුළුවන්. (ම)
ඔය පිට රට්ටු නම් එක මැසිම ගානේ හදල ඉල්ලන්නේ හොඳකට නෙවෙයි පහුවදාම උන් තොග ගානෙට ගහල ආපහු ලංකාවටම විකුණයි. නුවණක්කාර දේ තමයි පේටන්ට් බලපත්‍රයක් ගන්න එක. (බ)
අතිවිශිෂ්ටයි! (නි)
මෙවැනි නව නිෂ්පාදන සම්බන්ධ ප්රවෘත්ති ඉතා අගය කරනවා. සුබ පැතුම් (බ)
මගේ ගෞරවනීය ආචාරය!
නිර්මාණය අගයනවා. ඒ වගේම ලංකාවේ තේ වල ගුණාත්මකබාවය රැක ගන්න නම් බාල තේ ආනයනය කර අපේ තේ වලට මිශ්‍ර කර නැවත දේශීය සහ විදේශීය වෙළඳ පොලට දැමීම නතර කළ යුතුයි (නි)
උණුසුම් සුබ පැතුම්. (බ)
හොඳ වැඩක් (අ)
අපේ උණුසුම් සුබ පැතුම් (ම)
මේක අගය කළයුතු දෙයක් (නි)
ඉතින් හොඳ නිර්මාණයක් වෙන්න ඕන. (හේ)