ලෝකය පුරා කරන ලද නැවත වන වගා ව්‍යාපෘති බොහොමයකින් අපේක්ෂිත ප්‍ර‍තිඵල ලැබී නැති බවත් ඒ වෙනුවට සිදුව ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ක්‍රියාවලියට උත්තේජයක් සැපයීම බවත් යුරෝපයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

ඔවුන් පෙන්වාදෙන්නේ පළල් පත්‍ර‍ සහිත ශාක ස්ථර තිබූ තැන්වල ඒවා වවනු වෙනුවට කේතුදර ශාක වැවීමෙන් මෙවැනි හානියක් සිදුව ඇති බවයි. එම වනවගා හේතුවෙන් කාලගුණය දැඩි පරිවර්ථනයකට භාජනය වී ඇති බව ද පර්යේෂකයෝ කියති.

යුරෝපීය නැවත වන වගා ව්‍යාපෘති හේතුවෙන් එම වනාන්තරවල උඩුවියන් ස්ථරය 1750 සිට 1850 දක්වා ගතවූ සියවසේ දී තුනී වී ගොස් තිබිණි. මෙසේ නැවත වගා කළ වනාන්තර මිනිස් පාලනය යටතේ පවතින බැවින් ඒවායෙන් අපේක්ෂිත ප්‍රථිඵල නොලැබෙන බවද ඔවුන් පවසති.
මේ පර්යේෂකයෝ අවුරුදු 250ක් පුරා නැවත වන වගා කිරිමේ ඉතිහාසය අධ්‍යයනය කරමින් වනවගා සමග පාරිසරික සාධක වෙනස් වීම පිළිබඳ දීර්ඝ වශයෙන් නිරික්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

මේ පරීක්ෂණය සිදුකර ඇත්තේ ප්‍ර‍ංශයේ දේශගුණික විද්‍යා හා පාරිසරික පර්යේෂණ ආයතනය විසිනි. ඔවුන් පෙන්වා දෙන්නේ කේතුදර වනාන්තරවල දැකිය හැකි තද අඳුරු පැහැය මගින් සූර්ය රශ්මිය වැඩිපුර උරාගන්නා බවයි. එසේම ඒවා කාබන් උරා ගැනීම සිදු කරන්න්‍ෙ අඩුවෙන් බවද ඔවුන් පවසති.

 පර්යේෂකයන් පවසන්නේ ලෝකයේ වන වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවයි. කේතුධර වනාන්තර වගා කිරීම පහසු හා ප්‍රයෝජනවත් වුව ද පළල් පත්‍ර‍ සහිත ශාක වගාවෙන් ලෝකයට යහපතක් වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.