විදුලිය කප්පාදුවෙන් දරුණු පීඩනයකට පත්ව සිටින පොදු මහජනතාවගේ සිත්වලට මහත් සැනසිල්ලක් අත්කර දෙමින් අදින් පසුව විදුලිය කැපීමක් සිදු නොකරන බව ප්‍රකාශයට පත්ව තිබේ. ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (02) විදුලිබල සහ බලශක්ති නිලධාරීන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ සාකච්ඡාවක් උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදනයක මේ සහනදායී ප්‍රකාශය සඳහන්ව තිබිණි. එම සාකච්ඡාවේදී අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් බවද සඳහන් වෙයි.
සති ගණනාවක සිට ක්‍රමයෙන් බැරෑරුම් වී දිනකට පැය හතහමාරක් විදුලිය නැතිව සිටින බරපතළ ගැටලුවට මේ අන්දමින් විසඳුමක් ලබාදීමට ක්‍රමවේදයක් සැකසීම රටේ ජනතාවට මහත් අස්වැසිල්ලක් බව කිව යුතුය. උදේ සිට ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාවට රාත්‍රියේදී විදුලිය නැතිව ඉන්නට සිදුවීම නම් හැබෑම කරුමයකි. මේ කරුමය දැඩි පීඩනයක් බවට පෙරළී එය කොහෙන් හෝ පුපුරා යාමට පවා ඉඩකඩක් නිර්මාණය වෙමින් තිබූ බවද පසුගිය දිනවලදී පෙනෙන්නට තිබිණි. ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වලින් ඇසෙන කඨෝර වදන් සහිත ප්‍රතිචාර එහි පූර්විකාවකි. විදුලිය කප්පාදුව නැවතුණොත් එය ජනතාවට විශාල සහනයක් වෙනවා මෙන්ම ඔවුන්ගේ අසහනය පුපුරා යාමට තිබූ අවස්ථා මඟහැර යාමක් වන බවත් සඳහන් කළ යුතුය.
අඛණ්ඩව විදුලිය සැපයුමක් සඳහා සම්පූර්ණ විය යුතු සාධක ගණනාවක් තිබේ. විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු හිඟයකින් තොරව අප්‍රමාදව ලබාදීම එහි ප්‍රමුඛතම සාධකයයි. ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වා ගැනීමත් එසේ ගෙන්වා ගන්නා නැව්වලින් ඉන්ධන තොග ගොඩබා ගැනීමට අවශ්‍ය ඩොලර් මුදාහැරීමත් සිදුවිය යුතු අතර නිරන්තරයෙන් තෙල් තොග සංචිතයක් පවත්වාගෙන යාමද අත්‍යාවශ්‍ය කොන්දේසියකි. මේ සාධක සම්පූර්ණ වන්නේ නම් රටේ සෙසු ප්‍රශ්න කෙසේ වෙතත් අඩුම තරමින් අපේක්ෂිත ආකාරයටම අඛණ්ඩව විදුලිය සැපයුමක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැක. ජනතාව තුළ මතුවෙන එම බලාපොරොත්තුව කඩවීමට ඉඩක් නොතැබීම අදාළ නිලධාරීන්ගේත් රජයේත් වගකීම බවද කිව යුතුය.
මේ අතර ඒ දවස්වල විදුලිබල අමාත්‍ය පදවියේ සිටි ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කර තිබුණේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා විදුලිබල මණ්ඩලය මගින් ආනයනය කිරීමට පියවර ගන්නා බවය. එවකට බලශක්ති අමාත්‍ය පදවිය හෙබවූ උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් කියා තිබුණේ ඉන්ධන අර්බුදය කොටි ත්‍රස්තවාදයටත් වඩා භයානක බවය. මේ ප්‍රකාශය කරන විට රට තුළ ඩීසල් ඇත්තේ දින හතරකට ප්‍රමාණවත් තරමට බවද ඔහු සඳහන් කර තිබිණි. එසේම ඉදිරියේදී අඛණ්ඩව තෙල් ගෙන්වන්නේ කෙසේද යන්න ගැටලුවක් බවද එම ප්‍රකාශයේ සඳහන් විය.
ඒ දවස්වල ඇමැති පදවි හෙබවූ දෙදෙනෙකු විසින් සිදු කරනලද ඉහත ප්‍රකාශ දෙකේ බැලූ බැල්මට පරස්පර බවක් රැඳී තිබේ. උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා ඩීසල් ගෙන්වීම බරපතළ ගැටලුවක් බව පෙන්වා දෙන විට ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ තමන්ගේ අමාත්‍යාංශය විදුලිය උත්පාදනයට අවශ්‍ය තෙල් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය. තෙල් ගෙන්වීමට බලශක්ති අමාත්‍යාංශයට නැති ඩොලර් විදුලිබල අමාත්‍යාංශයට ඇත්තේ කෙසේද යන්න පැහැදිලි නැත. මුදල් අමාත්‍යාංශය හෝ මහ බැංකුව හෝ මේ සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ නොකරන තත්ත්වයක් තුළ රටේ ජනතාව තුළ විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත බවක් හටගැනීම අරුමයක් නොවේ. මේ අනුව ජනතාවට අදින් පසුව අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදෙන බවට ලබා දී ඇති පොරොන්දුව කෙරෙහිද සැක මුසුව බැලීමට පෙළැඹුණොත් ඒ ගැන පුදුම නොවිය යුතුය.
දැනට රටේ පවතින ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් නැවතී ඇත්තේ විදුලිය සැපයුම පමණක් නොවේ. පෞද්ගලික බස් ධාවනයද පවතින්නේ දැඩි අවදානමකය. බස් රථ සංගම් ප්‍රකාශ කරන පරිදි බස් ධාවනය සියයට 80කින් පමණ පහත වැටී තිබේ. මෙය රටේ ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරයි. රට පුරා පවතින ඩීසල් පෝලිම්, ඉන්ධන බූලි පෝලිම් පෙන්වා දෙන්නේ තවමත් ඉන්ධන ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබී නැති බව පමණි. එවැනි පසුබිමක අඛණ්ඩ විදුලිය සැපයුමක් ගැන විශ්වාසය තැබීම තරමක් අසීරු බවද පැවසිය යුතුය.
පැය හතහමාරක තරම් දීර්ඝ විදුලිය කප්පාදුවක් ශ්‍රී ලංකාවේ ඇතිවූයේ වසර 26කට පසුව බව ජාත්‍යන්තර මාධ්‍යවලද වාර්තා පළ වී තිබිණි. එවැනි වාර්තා රජයේ ප්‍රතිරූපයටද එල්ල කරන්නේ දැඩි බලපෑමකි. මේ තත්ත්වයෙන් වහා ගොඩ ඒමට රජයට කෙටිකාලීන විසඳුම් තිබිය යුතු අතර යළිත් මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට දීර්ඝකාලීන විසඳුම්ද තිබිය යුතුය. ඒ අතර අදින් පසුව අඛණ්ඩ විදුලිය සැපයුමක් ලැබෙන බවට ජනතාව තුළ ඇති බලාපොරොත්තුව කඩ නොකරනු ඇතැයි අපි විශ්වාසය පළ කරමු.
(***)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විදුලි කප්පාදුව නවතන ආරංචිය රටට සැනසීමක්
Rocky Tuesday, 08 March 2022 01:15 PM
කිසිම විශ්වාසයක් තියන්න බැහැ, මහත්තයෝ.. මේ ගොල්ලෝ කියන දේවල් ගැන...!!!