IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පාසල් විවෘත කිරීම සාර්ථක කරගනිමු


 

බස්නාහිර සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත් පාසල්වල සීනු නාදය පසුගිය 11 වැනිදා සිට යළිත් ඇසෙන්නට පටන් ගත්තේය. පාසලේ සීනුව රැව්දීම කුමන රටක කුමන ජාතියකට වුවද මහත් ප්‍රබෝධයක් දනවන්නකි. රටක් සජීවී ලෙස ක්‍රියාත්මක වන බව ජාතියේ හදගැස්ම නොනැවතී ක්‍රියාත්මක වන බව ලොවටම හඬ ගා කියන්නකි. මේ නාදය යළි අසෙන්නට පටන් ගත්තේ දෙවැනි කොරෝනා රැල්ලේ පාලනය පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් පසුව අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රමුඛව රජය මගින් ගනු ලැබූ තීන්දුවකට අනුවය. එම තීන්දුව අනුව විවෘත වූ පාසල් දරු දැරියන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව රජය ප්‍රකාශ කරයි.

සිසුන් සහ ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අසන්නට ලැබීම කොරෝනා මරණ හේතුවෙන් තැතිගැන්වී සිටින මුළු මහත් සමාජයටම සුබදායී පණිවුඩයක් බව විශ්වාස කරමු. නිසි ලෙස සෞඛ්‍යාරක්ෂක නීති රීති අනුගමනය කිරීමට දෙගුරුන්ගේත් සිසු දරුවන්ගේත් අධිෂ්ඨානශීලී කැපවීම තිබේ නම් අවහිර බාධාවලින් තොරව පාසල් පවත්වාගෙන යා හැකිය යන විශ්වාසය අප කවුරුත් තුළ පවතී. වසා දමා ඇති ප්‍රදේශවල ඇති සෙසු පාසල්ද හැකි ඉක්මනින් විවෘත කර ගැනීමට අවස්ථාව උදාවනු ඇති බවට වන ප්‍රාර්ථනයක්ද ඒ සමඟ ඇති බවද සඳහන් කළ යුතුය. එම ප්‍රාර්ථනය යථාර්ථයක් කරගත හැකිවන්නේ සියලු‍ දෙනාගේ කැපවීමත් උත්සාහයත් තුළින් පමණි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ මුල් අවදියේදී රෝගය පිළිබඳව තිබූ අල්ප දැනුම සහ අනවබෝධය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාවට පාසල් වසා දැමීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට ඉඩ නොතිබිණි. ලොවේ සෙසු රටවල් අනුව යමින් ගනු ලැබූ එම ක්‍රියාමාර්ගය ලිහිල් කරමින් පළමු රැල්ල පාලනය කර ගැනීමෙන් පසුව පාසල් යළිත් ආරම්භ කිරීමට අපේ රටට හැකියාවක් ලැබීම සතුටට හේතුවෙයි. ඒ කාලය තුළදී අ.පො.ස. උසස් පෙළ විභාගය පවත්වා අවසන් කිරීමටද හැකි වූ බවත් මෙහිදී සිහිපත් කළ යුතුය. එහෙත් දෙවැනි රැල්ල ශීඝ්‍ර ලෙස පැතිරයාමත් සමඟ යළිත් පාසල් වැසීමට සිදුවූ අතර ඒ සමඟ කලින් සැලසුම් කර තිබූ පරිදි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමටද නොහැකි විය. පවතින තත්ත්වය සතුටුදායක වුවහොත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් සෙසු පාසල් විවෘත කර ගැනීමටද සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමටද හැකියාව ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් අපි සිටිමු.

කොරෝනා වසංගතය හේතුවෙන් රටේ සියලු‍ කටයුතු නවතා දමා සිටීමට කිසිදු රටකට හැකියාවක් නැත. රෝගකාරක වයිරසය, එහි ව්‍යාප්තිය සහ ඉදිරියේදී ලැබීමට නියමිත එන්නත් ප්‍රතිකාර ආශ්‍රිත කරුණු පිළිබඳ දැනුම අපේ රට තුළටද ප්‍රමාණවත් තරමින් කාන්දු වී තිබේ. එම දැනුම මත පදනම් වෙමින් රටම හැකි පමණින් විවෘත කර ගැනීමට කටයුතු යෙදීම රජයේ වගකීමකි. ලොවේ බොහොමයක් රටවල්ද අනුගමනය කරන්නේ එම ප්‍රතිපත්තියමය. අලු‍තින් ශීඝ්‍ර ලෙස පැතිරෙන කොරෝනා වයිරසය රට තුළට පැමිණීම හේතුවෙන් බරපතළ තත්ත්වයකට මුහුණ දී සිටින එංගලන්තය යළිත් වසා දැමීමට සිදුවුවද එරට අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ඔස්සේ දිගටම ක්‍රියාත්මකය. යුරෝපයේ සහ බටහිර ඇතැම් රටවල්ද කඩින් කඩ වසා දමන තත්ත්වයක් තුළ වුවද අධ්‍යාපනය නොකඩවා සිදුකරගෙන යයි. අපේ රටේ සිසු දරුවන්ටද අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීමේ ඉඩකඩ හැකි පමණ විවෘත කර දීමට ප්‍රමුඛත්වය ලැබිය යුතුය.

මෙරට පාසල් නව වසරේ පළමු වාරය සඳහා විවෘත කෙරුණු දිනයේ (11) සිසුන්ගේ පැමිණීම සියයට 51ක සහ ගුරුවරුන්ගේ පැමිණීම සියයට 88ක් වශයෙන් පැවැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර තිබිණි. ආරම්භක දිනය එසේ වුවද ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. දැනට පාසල් විවෘත නොවී පවතින බස්නාහිර පළාතේද 11 වැනි ශ්‍රේණියේ පන්ති ලබන 25 වැනිදා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මගින් සැලසුම් කර ඇති බවද සඳහන්ය. එවැනි පියවරකින් හෝ එම පාසල්වලද පන්ති පැවැත්වීම ආරම්භ කළ හැකි නම් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයද ඉදිරියේදී ඉක්මනින් පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩදිය යුතු නැත. නිවෙස් තුළටම වී කල් ගෙවමින් ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලැබීම සිසු දරුවන්ට හැමදාම කළ නොහැක. මේ රටේ ඇතැම් ප්‍රදේශවල සිසු සිසුවියන්ට ගස්, ගල් සහ කඳු උඩ නැග ඔන්ලයින් පහසුකම් ලබාගැනීමට සිදුව තිබීමද සියලු‍දෙනාගේ අවධානය යොමුවිය යුතු තත්ත්වයකි. ප්‍රායෝගිකව ලද එම අත්දැකීම් හේතුවෙන් පෙනීයන්නේ රටට දියුණු තාක්ෂණයක් තිබෙන බවට කොතරම් උදම් ඇනුවද රටේ අවශ්‍යම ස්ථාන කරා එම දියුණුව ගලාගොස් නැති බවය. ඒ ගැටලු‍වට විසඳුමක්ද මේ කාලය තුළදීම සොයාගත හැකි නම් එය දරුවන්ගේ ඉහළ අධ්‍යාපනයට සිදුකෙරෙන ඵලදායී ආයෝජනයක් වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉදිරි කාලයේදීද වයිරසය සමඟ ජීවත්වීමට සිදුවනු ඇති බවය. එහෙයින් කළ යුත්තේ වයිරස වසංගතයට අනුව රටේ පැවැත්මේ හැඩතල වෙනස් කර ගැනීම මිස අගුල් දා ගැනීම නොවේ. අධ්‍යාපනයට එහිදී ඉහළම ප්‍රමුඛත්වය ලැබිය යුතුය. වයිරසයක් නිසා රටේ අනාගතයට අගුලු‍ වැටීමට ඉඩක් දිය නොහැක.


(***)



අදහස් (2)

පාසල් විවෘත කිරීම සාර්ථක කරගනිමු

Raveendra Thursday, 14 January 2021 10:44 AM

මෙහි අදහස් කුමක් වුවත් මල්වැනි දරුවන්ගේ සුන්දර අව්‍යාජ සිනහවක් දැකීමත් ඇති අපගේ සිත් සතන් සන්සුන් වීමට. විශේෂයෙන් ඡායාරූපයේ මැදම සිටින රත්තරං දූ පැටියාගේ ඒ සුන්දර සිනහව අපගේ මනසට මොනතරම් සැහැල්ලුවක් ඇති කරන්නේද? අප තරයේ විශ්වාස කරනවා දරු සෙනෙහස හොඳින් දන්නා සැමටම මෙම හැඟීම් පහළවේ යන්න...

:       0       6

anuraThursday, 14 January 2021 05:38 PM

මෙම වටිනා ඡායාරූපය ගත් ශිල්පියාට ස්තූතියක් හිමිවිය යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site